hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 28, පෙ.ව. 11:51



INDIA සන්ධානයේ ප්‍රධාන සාමාජිකයකු වූ බිහාර් මහ ඇමති නිතිෂ් කුමාර් අද මහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඔහු භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට එක්ව නැවත මහ ඇමති ධුරයට පත්වීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

නිතිෂ් කුමාර් ඉන්දියාවේ විපක්ෂය එක්ව සාදාගත් INDIA සන්ධානය නිර්මාණය කිරීමේදී වැදගත්ම කාර්යභාරයක් කළ අයෙක්. එම සන්ධානයේ පළමු රැස්වීමෙහි සත්කාරකයා වූයේ ද ඔහුයි. නමුත් එම සන්ධානයේ කැඳවුම්කරු ලෙස තමා නම් කරන්නැයි කළ ඉල්ලීම්වලට කොන්ග්‍රස් පක්ෂය කන් නොදීමත්, එළඹෙන මැතිවරණයේ තරග කරන ආසන බෙදාගැනීම ප්‍රමාද කිරීමත් හේතුවෙන් එම සන්ධානයෙන් ඉවත් වීමට නිතිෂ් කුමාර් කටයුතු කර තිබෙනවා.

මේ අතර ආසන බෙදාගැනීම් පිළිබඳ එකඟතාවයකට පැමිණීම කෙරෙහි කොන්ග්‍රස් පක්ෂයෙහි වූ ප්‍රමාදය හේතුවෙන් මේ වනවිට ද ත්‍රිණමූල් කොන්ග්‍රසය බටහිර බෙංගාලයේදීත්, ආම් ආද්මි පක්ෂය පන්ජාබයේදීත් තනිව තරග කරන බව ප්‍රකාශ කර තිබෙනවා. සමාජවාදී පක්ෂය ද උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී එවැනි තීරණයක් ගැනීමේ සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ INDIA සන්ධානයේ කඩාවැටීමට බොහෝදුරට කොන්ග්‍රස් පක්ෂය වගකිව යුතු බවයි.