hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 19, පෙ.ව. 6:17



ඉන්දියාවේ මහ මැතිවරණය අද දිනයේ ඇරඹෙනවා. අදියර හතකින් පැවැත්වීමට නියමිත මැතිවරණය නිමා වන්නේ ජූනි 1 වනදා යි. ඡන්ද ගණන් කිරීම ජූනි 4 වනදා සිදුවනවා.

ලෝක් සභාවේ ආසන 543 සඳහා මැතිවරණයේදී මන්ත්‍රීවරුන් තෝරාපත් කරගනු ලබන අතර පළමු අදියරේදී ආසන 101 ක සහ මනිපූර් ප්‍රාන්තයේ එක් ආසනයක අඩක ඡන්දය පැවැත්වෙනවා. (ආරක්ෂක හේතූන් මත එම ආසනයෙහි අනෙක් කොටසෙහිදී මැතිවරණය පවත්වන්නේ අප්‍රේල් 26 යි). අද පැවැත්වෙන පළමු අදියරේදී වැඩිම අවධානය යොමුව ඇත්තේ තමිල්නාඩුව වෙතයි. එම ප්‍රාන්තයේ ආසන 39 හිම මැතිවරණය අද පැවැත්වෙනවා.

තමිල්නාඩුවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය සහ කොන්ග්‍රස් පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමග එක්ව තරග වදින අතර අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයත් කුඩා පක්ෂ කිහිපයක් හා එක්ව තරග කරනවා. මේ අතර තුන්වෙනි බලවේගයක් ලෙස භාරතීය ජනතා පක්ෂය පැමිණ තිබෙනවා. පට්ටාලි මක්කල් කච්චි සහ තවත් කුඩා පක්ෂ කිහිපයක් ඔවුන් හා එක්ව සිටිනවා. පසුගිය සමයේ අගමැති නරේන්ද්‍ර මෝදි අවස්ථා ගණනාවකදීම තමිල්නාඩුවේ සංචාරය කළා. තමිල්නාඩුවේ කිසියම් පදනමක් ගොඩනගාගැනීම බීජේපීයෙහි ප්‍රධානම අරමුණක් බව මෙවර මැතිවරණය දෙස නිරීක්ෂණය කරද්දී පෙනී යන කරුණක්.