hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 13, ප.ව. 7:45



ඊශ්‍රායලයේ හමුදා ප්‍රධානී හර්ට්සි හලේවි බහරේනයේදී අරාබි රටවල් පහක හමුදා ප්‍රධානීන් හමුවූ බව ඇක්සියෝස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. මෙම හමුව සිදුව ඇත්තේ ඇමරිකානු මධ්‍යමදිග විධානයේ අණදෙන නිලධාරී ජෙනරල් මයිකල් එරික් කුරිල්ලාගේ මැදිහත්වීම යටතේයි.

මේ අනුව බහරේන්, සෞදි අරාබිය​, එක්සත් අරාබි එමීර්, ඊජිප්තුව සහ ජෝර්දානය යන රටවල හමුදා ප්‍රධානීන් ඊශ්‍රායල හමුදාපතිවරයා හමුවූ බවයි සඳහන් වන්නේ.

මෙහිදී කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ සාකච්ඡා වූ බව වාර්තා වනවා. විශේෂයෙන්ම අප්‍රේල් 13 වනදා ඊශ්‍රායලය වෙත ඉරාන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුව කලාපීය වශයෙන් සහයෝගීතාව පිළිබඳ අවශ්‍යතාව වැඩි වී තිබෙනවා.

ගාසා තීරයේ ඊශ්‍රායලය විසින් කරන මෙහෙයුම් විවේචනය කරන අතරම​, කලාපයට එල්ල විය හැකි පොදු අභියෝගවලදී ඊශ්‍රායලය ද සමග කටයුතු කිරීමට අරාබි රටවල් සූදානම් බව මෙම හමුවෙන් පෙනෙන බවයි විචාරකයන් කියා සිටින්නේ.