hit counter

2024 මැයි මස 10 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 19, පෙ.ව. 8:14



ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පසුබැස්වීම සඳහා අවශ්‍ය නම් එම රට ආක්‍රමණය කිරීමට ඊශ්‍රායලය සැලසුම් සකස් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ඊශ්‍රායල සන්නද්ධ හමුදාවන් හි උසස් නිලධාරියකු “ටයිම්ස්” පුවත්පතට පවසා ඇත්තේ හමාස් සංවිධානය සිදුකළ ඔක්තෝබර් 7 වනදා ප්‍රහාරය මෙන් ප්‍රහාරයක් හිස්බුල්ලා සංවිධානය වෙතින් ද එල්ල වීමේ අවදානම පිළිබඳ ඊශ්‍රායලය විමසිලිමත් බවයි. එහෙයින් යුද්ධය සතුරා වෙත රැගෙන යාම අපේක්ෂාව වන බව එම නිලධාරියා පවසා තිබෙනවා. ඒ අනුව හිස්බුල්ලා සංවිධානය ලිටානි නදියෙන් උතුරු දෙසට පළවා හැරීම ඊශ්‍රායල හමුදාවල අපේක්ෂාවයි.

මේ අතර නිව්ස් වීක් සඟරාව පෙන්වා දෙන්නේ සාමය සඳහා කිසියම් අවකාශයක් තිබුණ ද අවශ්‍ය නම් සටනට සූදානම් යයි ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශක ජොනතන් කොන් රිකස් පැවසූ බවයි.

ඔක්තෝබර් 8 වනදා සිට හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට පහරදෙමින් සිටින අතර ඊශ්‍රායලය සිය උතුරුදිග ප්‍රදේශයන් හි ජනාවාසවලින් ජනතාව ඉවත් කර තිබෙනවා. හිස්බුල්ලා සංවිධානය දැවැන්ත ප්‍රහාරයකට තවම යොමු වී නැති අතර ගාසා තීරයේ හමාස් සංවිධානය සම්පූර්ණ පරාජයකට මුහුණදෙන තත්ත්වයක් මතු වුවහොත් එසේ හමුදා ප්‍රහාර දැඩි කරන බව ඔවුන් පවසා තිබෙනවා. කෙසේ වෙතත් හිස්බුල්ලා තර්ජනය හේතුවෙන් ඊශ්‍රායලයට උතුරු ප්‍රදේශයේ සැලකිය යුතු හමුදා රඳවන්නට සිදුව තිබෙනවා.