hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 20, ප.ව. 8:19



හමාස් සංවිධානය විසින් ඔක්තෝබර් 7 වනදා එල්ල කළ ප්‍රහාරය පිළිබඳ ඊශ්‍රායල – ගාසා සීමාවේ සේවය කළ සෙබළියන්ගේ නිරීක්ෂණ​ ඒකකයක් විසින් නිරීක් ෂණය කර වාර්තා කළ බව නම හෙළිකිරීමට අකමැති ඊශ්‍රායල සෙබළියක පවසා තිබෙනවා.

ඊශ්‍රායලයේ ප්‍රකට පුවත්පතක් වන හාරෙට්ස් වෙත අදහස් දක්වන ඇය කියා සිටියේ මාස කිහිපයකට පෙර හමාස් ත්‍රස්තවාදීන් දේශසීමා වැට කිට්ටුවෙහි යුධ ටැංකිවලට පහරදෙන අයුරු සහ දේශසීමා වැටේ කැමරා ක්‍රියා විරහිත කරන අයුරු පිළිබඳ පුහුණුවනු එම ඒකකය විසින් නිරීක්ෂණය කර තිබූ බවයි.

කිහිප විටක්ම මේ පිළිබඳ ඉහළ නිලධාරීන්ට දන්වා ඇතත් ඊට අවශ්‍ය පියවර ගැනීමක් සිදුව නැහැ. එම සෙබළිය චෝදනා කරන්නේ එම ඒකකයේ තරුණ කාන්තා සෙබළියන් හා නිලධාරිණියන් පමණක් සිටින හෙයින් ඔවුන් ලබාදුන් තොරතුරු ගැන නොසැලකීමෙන් කටයුතු කර ඇති බවයි. එම ඒකකයේ පිරිමින් සිටියේ නම් ඊට වඩා එම තොරතුරු ගැන සැලකීමට ඉඩ තිබූ බව ඇය තවදුරටත් චෝදනා කර තිබෙනවා.

ප්‍රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවීම් කර තිබූ බව ඉහළ නිලධාරීන් විසින් පසුගියදා කළ ප්‍රකාශයන් ද ඇය ප්‍රතික් ෂේප කර තිබෙනවා. එම සෙබළිය පවසන්නේ එවන් කිසිදු අනතුරු ඇඟවීමක් නොලැබුණ බවයි.

නිරීක්ෂණ කණ්ඩායම් සන්නද්ධව නොසිටි හෙයින් ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ඔවුන් අසරණභාවයට පත්වූ බව ද එම සෙබළිය පෙන්වා දෙනවා. එහෙයින් එම සෙබළියන් සමහරෙක් අමු අමුවේ ඝාතනය වූ බවයි ඇය පවසා ඇත්තේ.

ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරයේදී ඊශ්‍රායල වැසියන් 1200 ක් පමණ මියගොස් තවත් 240 දෙනකු පමණ ප්‍රාණ​ඇපකරුවන් ලෙස රැගෙන යනු ලැබුණා.