hit counter

2024 මැයි මස 19 වන ඉරිදා

2024 මැයි 07, ප.ව. 12:06



ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ රෆා හි ඊජිප්තුව සමග වන දේශසීමා මුරපොල අත්පත් කරගෙන තිබෙනවා.

ඊශ්‍රායලයේ 401 වන යාන්ත්‍රික බලකාය විසින් මෙම ප්‍රදේශයේ බලය තහවුරු කරගත් බවයි ඔවුන් පවසන්නේ. මේ අතර එම දේශසීමා මුරපල සහ සලාහ් අ-දීන් මාර්ගය අතර සම්බන්ධය ද බිඳ දමන ලද බව ඊශ්‍රායලය පැවසුවා. එම මාර්ගය ප්‍රදේශය ජිවාටි බ්‍රිගේඩය විසින් අත්පත් කරගත් බවයි ඊශ්‍රායලය පවසා සිටියේ.

ඊශ්‍රායලය විසින් අද අලුයම් කාලයේ රෆා වෙත ප්‍රහාර ආරම්භ කළා. හමාස් ඉලක්ක පනහකට පමණ ගුවනින් පහරදුන් බවයි ඊශ්‍රායල සන්නද්ධ හමුදා කියා සිටින්නේ. මේ අතර ගොඩබිමින් එල්ල කළ ප්‍රහාරයන්වලදී තමන්ට කිසිදු හානියක් සිදු නොවූ බවත් හමාස් සටන්කාමීන් විස්සක් පමණ ඝාතනය කළ බවත් ඔවුන් පවසනවා.

රෆා දේශසීමා මුරපොල පිහිටා ඇත්තේ රෆා නගර මධ්‍යයෙන් දකුණට වන්නටයි. රෆා නගරය වෙත පහරදීම සඳහා ඊශ්‍රායලය විසින් සකස් කර ඇති සැලැස්මට තමන් කැමැත්තක් නොදක්වන බව ඇමරිකාව ප්‍රකාශ කරනවා. ඇමරිකානු රජය පවසන්නේ එවන් ප්‍රහාරයකින් විශාල ජීවිත හානි ප්‍රමාණයක් සිවිල් වැසියන්ට සිදුවිය හැකි බවයි.