hit counter

2024 සැප්‍තැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 19, ප.ව. 11:02



ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ආරක්ෂක ඇමති යොආව් ගලාන්ට් හෝ අභ්‍යන්තර ආරක්ෂක ඒජන්සිය වන ශින් බෙට් හි ප්‍රධානී රොනන් බාර් ඝාතනය සඳහා සැලසුම් සකස් කිරීම භාරව සිටි යුදෙව්වකු අත් අඩංගුවට ගත් බව ඊශ්‍රායලය පැවසුවා.

මෝති මමාන් නම් අවුරුදු 73 ක් වයසැති අයකු වන මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය මාසයේයි. නමුත් මෙම තොරතුර හෙළිදරව් කරන ලද්දේ අද දිනයි.

මේ පුද්ගලයා ඉරාන බුද්ධි නිලධාරීන් හමුවීමට රහසිගතව දෙවරක් එම රටට ගොස් ඇති බව ද ඊශ්‍රායලය ප්‍රකාශ කරනවා.

ව්‍යාපාරිකයකු වන මොහු ඒ හේතුවෙන් තුර්කි සහ ඉරාන ජාතිකයන් සමග සබඳතා පවත්වාගෙන ඇති බවත් ඔහුව ඉරානයට ගෙන ගියේ තුර්කිය හරහා ගොඩබිමින් බවත් ඊශ්‍රායල බලධාරීන් කියා සිටියා.

ඉරාන බුද්ධි නිලධාරීන් වරක් ඔහුට ඊශ්‍රායලය තුළ මෙහෙයුම් සඳහා කටයුතු කරන ලෙස දන්වා ඇති අතර අගෝස්තුවේ දී දෙවන වරට ඔහු ඉරානය වෙත ගිය අවස්ථාවේ ඉහළ පෙළේ නායකයන් ඝාතන සැලසුම් පිළිබඳ සාකච්ඡා සිදුව තිබෙනවා. නැවත ඔහු ඊශ්‍රායලයට පැමිණි විට ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මමාන් පවසා ඇත්තේ බලධාරීන් තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් යහපතක් වූ බවයි. එසේ නොවී නම් මේ අර්බුදය කොයි අතට යාදැයි තමාට නොහැඟෙන බව ඔහු සඳහන් කර තිබෙනවා. ඔහු පවසන්නේ ව්‍යාපාරික ගනුදෙනු ඔස්සේ කටයුතු කළ තමන් වැරදි විශ්වාසයක් මත අපහසුතාවට පත්වූ බවයි.