hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2023 දෙසැම්‍බර් 28, පෙ.ව. 8:44



රුසියාවේ සංචාරයක නිරතව සිටින ඉන්දියානු විදේශ අමාත්‍ය සුබ්‍රමනියන් ජායිශංකර් ඊයේ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් හමුවුණා.

මෙහිදී දෙදෙනා රටවල් දෙක අතර ද්විපාර්ශවික සබඳතා පිළිබඳ සාකච්ඡා කළ අතර අගමැති මෝදිට රුසියාවේ සංචාරය කරන මෙන් ආරාධනා කරන බව පුටින් ප්‍රකාශ කළා.

එමෙන්ම ඊට පෙර ජයිශංකර් රුසියාවේ විදේශ ඇමති සර්ගේයි ලාව්රොෆ් සමග ද සාකච්ඡා කළා.

මෙම සංචාරය තුළ දී දෙරට අතර වෙළඳාම​, අවි ගනුදෙනු සහ න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ගනුදෙනුවලට අදාල සාකච්ඡා සිදුවන බවයි වාර්තා වන්නේ.

දෙරට අතර වෙළෙඳ ශේෂය රුසියාවට වාසිදායක තත්ත්වයක තිබෙන අතර ඒ හේතුවෙන් දෙරට අතර රූබල් – රුපියල් ගනුදෙනු ද අත්හිටවී තිබෙනවා. රුසියාව සතුව විශාල ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ඒකරාශී වීමත් එයින් කළ හැකි දෙයක් නොමැති වීමත් ඊට හේතුවයි.

දෙරට අතර ඩොලර් රහිතව රූබල් – රුපියල් මුදලින් ගනුදෙනු කිරීම ඇරඹුණේ රුසියාවට එරෙහිව බටහිර සම්බාධක පැනවුණු පසුයි. එහෙත් මේ වනවිට එම ගනුදෙනු ඇණහිට තිබෙනවා.

මේ අතර රුසියාව ප්‍රමුඛ යුරේසියානු වෙළෙඳ එකමුතුව සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා ජනවාරියෙදී ඇරඹෙනු ඇතැයි ජයිශංකර් කියා සිටියා.

තවද​, ඉන්දියාවේ අවි කර්මාන්තය දේශීයකරණය කිරීමේදී රුසියානු දැනුම උපයෝගී වේ යයි බලාපොරොත්තු පළ වී තිබෙනවා. මීට පෙර ද ඉන්දියාව බ්‍රහ්මෝස් මිසයිල දියුණු කිරීම සඳහා රුසියානු සහය ලබාගත් අතර රුසියාවේ AK-203 අවි නිපදවන කර්මාන්තශාලාවක් ඉන්දියාවේ විවෘත කළා.

මේ අතර ඉන්දියාවෙහි කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයට නව ඒකක එක් කිරීම පිළිබඳව ද දෙරට අතර සාකච්ඡා සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ.