hit counter

2025 ජනවාරි මස 08 වන බදාදා

2025 ජනවාරි 07, ප.ව. 12:38



කැනඩාවේ අගමැති ජස්ටින් ටෲඩෝ පාලක ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ අභ්‍යන්තර ගැටුම් අනුව පෙනී යන්නේ තමන්ට මීළඟ මැතිවරණයේදී පක්ෂයට නායකත්වය දීමට නොහැකි යයි දිස්වන බවයි.

මේ අනුව පක්ෂයට නව නායකයකු පත් කරගත් විට ඔහු නායකත්වයෙන් ඉවත්වනවා. එමෙන්ම ඔහු ඒ සමගම කැනඩාවේ අගමැති ධුරයෙන් ද ඉවත් වනවා.

ටෲඩෝගේ ජනප්‍රියත්වය බෙහෙවින් පහළ යමින් තිබුණ හෙයින් ධුරයෙන් ඉවත්ව මීළඟ මැතිවරණයට සැලකිය යුතු කාලයක් තබාගෙන නව පක්ෂ නායකයකු පත් කරගැනීමට පක්ෂයට අවකාශය දිය යුතු යයි ලිබරල් පක්ෂයේ ම ඇතැම් පිරිස් ප්‍රකාශ කරමින් සිටියේ කලක සිටයි. එහෙත් ටෲඩෝ එම යෝජනාවට එකඟ වූයේ නැහැ.

නමුත් අතුරු මැතිවරණ කිහිපයක්ම පරාජය වීම සහ ඔහුගේ මුදල් ඇමතිවරිය ඉල්ලා අස්වීම හේතුවෙන් ටෲඩෝ වෙත පැමිණි පීඩනය තවත් වැඩි වුණා.

උද්ධමනය, ලිහිල් සංක්‍රමණික ප්‍රතිපත්ති කෙරෙහි මතුවෙමින් ඇති විරෝධය, නිවාස මිල ගණන් අධික වීම වැනි කරුණු හේතුවෙන් ටෲඩෝගේ ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ අප්‍රසාදය වර්ධනය වී තිබෙනවා.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපති ධුරයට පත්වූ පසු කැනඩාවට එරෙහිව තීරුබදු පනවන්නේ යයි කළ අනතුරු ඇඟවීම පිළිබඳ ටෲඩෝ එතරම් අවධානය යොමු නොකළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

ජනවාරි 27 වනදා කැඳවීමට නියමිතව තිබූ පාර්ලිමේන්තුවේ ඊළඟ සභාවාරය මාර්තු 24 දක්වා කල්දමා තිබෙනවා. ඒ ලිබරල් පක්ෂයට නව නායකයා පත්කරගැනීමට අවකාශය ලබාදෙමින්. නමුත් කඩිනම් වෙනසක් අපේක්ෂා කළ පාර්ශවයන් මෙම කල් ගැනීම පිළිබඳ සිය නොසතුට දක්වා තිබෙනවා.