hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 11, ප.ව. 3:30



2019 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද සංශෝධනය අනුව කශ්මීරයේ විශේෂ තත්ත්වය පිළිබඳව සඳහන් වූ 370 වගන්තිය අහෝසි කිරීම ව්‍යවස්ථානුකූල බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

එමෙන්ම ජම්මු හා කශ්මීර් ප්‍රාන්තය කොටස් දෙකකට බෙදා ලඩාක් ප්‍රදේශය වෙන් කිරීම ද ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියා.

370 වගන්තිය අහෝසි කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම්වල තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු ඩී.වයි. චන්ද්‍රචුද් සඳහන් කළේ 370 වගන්තිය තාවකාලික ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් සේ සැලකිය හැකි බවයි.

අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල විනිශ්චයකාර මඬුල්ලක් විසින් මෙම පෙත්සම් විභාග කෙරුණා.

ලබන වසරේ සැප්තැම්බර් 30 වනදාට පෙර ජම්මු සහ කශ්මීර් ව්‍යවස්ථාදායකය උදෙසා මැතිවරණය පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දුන්නා. තවද හැකි ආසන්නම අවස්ථාවේ ජම්මු සහ කශ්මීරයේ ප්‍රාන්ත තත්ත්වය නැවත ස්ථාපිත කරන ලෙසයි අධිකරණය මධ්‍යම රජයට උපදෙස් දුන්නේ.

1947 දී කශ්මීරය ඉන්දියාව සමග ඒකාබද්ධ වූ අතර එම ප්‍රාන්තයට විශේෂ තත්ත්වයන් ලබාදෙමින් 370 වගන්තිය 1950 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරනු ලැබුණා. ඒ අනුව ආරක්ෂාව​, විදේශ කටයුතු සහ සන්නිවේදනය හැර අන් කටයුතු කශ්මීර් ආණ්ඩුව යටතේ තබාගන්නට අවසර ලැබුණා. එමෙන්ම ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට කශ්මීරයේ ඉඩම් මිලදී ගැනීමට අවසර හිමි වූයේ නැහැ. 2019 අගෝස්තු 5 වනදා ඉන්දීය ආණ්ඩුව විසින් හඳුන්වා දෙන ලද ව්‍යවස්ථා සංශෝධනයක් මගින් 370 වගන්තිය අහෝසි කරන ලද අතර​, ජම්මු හා කශ්මීර් ප්‍රාන්තයේ ප්‍රාන්ත තත්ත්වය අහෝසි කර එය ජම්මු සහ කශ්මීර් හා ලඩාක් නම් මධ්‍යම ආණ්ඩුව යටතේ පාලනය වන ප්‍රදේශ දෙකක් බවට පත් කරනු ලැබුණා.