hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 22, ප.ව. 11:06



ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි අනතුරට පත්වූ හෙලිකොප්ටරයෙහි අවසන් විනාඩි කිහිපය පිළිබඳ ඔහුගේ මාණ්ඩලික ප්‍රධානී ගොලාම් හොසේන් එස්මයිලි හෙළිදරව් කර තිබෙනවා.

ඔහු පවසන්නේ හෙලිකොප්ටර් තුනකින් යුක්ත වූ කණ්ඩායම අසර්බයිජාන දේශසීමාවෙන් පිටත්ව විනාඩි 45 ක් පමණ ගමන් කරන තුරු කාලගුණය යහපත් වූ බවයි. රයිසි ගමන් කළ යානය මැදි කරගෙන අන් යානා දෙක ගමන් කර තිබෙනවා.

ඉදිරියේ වළාකුලක් වන හෙයින් තමන් ඉහළට යානය ඔසවන බව රයිසිගේ යානයේ නියමුවා රේඩියෝ මගින් දන්වා තිබෙනවා. ඒ අනුව අනෙක් යානා දෙක ද ඉහළ නැග තිබෙන අතර තත්පර තිහකදී පමණ මැදින් වූ යානය අතුරුදන්ව ඇතැයි තමා දුටු බව එස්මයිලි කියා සිටිනවා.

ඔවුන් කිහිප විටක් ප්‍රදේශයට ඉහළින් කැරකෙමින් යානය සෙවූ නමුත් වළාකුළු හේතුවෙන් කිසිවක් පැහැදිලිව පෙනී නැහැ. රේඩියෝ මගින් සම්බන්ධ කරගැනීමට කළ උත්සාහයන් ද අසාර්ථක වී තිබෙනවා.

පසුව එම යානයේ සිටි ටබ්‍රිස් හි ඉමාම් මොහොමඩ් අලි අල්-හශෙම් රේඩියෝ මගින් පණිවිඩයක් දුන් බවත් යානය කඩාවැටුණ බවත් පැවසීයැයි එස්මයිලි කියා සිටිනවා. කෙසේ වෙතත් පැය කිහිපයකදි ඔහු ද මරණයට පත්වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

සහන සේවකයන් යානයෙහි සුන්බුන් වෙත පැමිණියේ අනතුර සිදුවූ දාට පසුදා උදෑසනයි. යානයේ සිටි සියළු දෙනා මියගොස් සිටි බව එහිදී තහවුරු වුණා.