hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 24, ප.ව. 7:33



දකුණු කොරියාවේ සියොල් අගනුවරට දකුණින් හ්වසෙයොං හි ලිතියම් බැටරි කර්මාන්තශාලාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 22 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.

මියගිය අයගෙන් දෙදෙනකු දකුණු කොරියානුවන් වන අතර ඉතිරි අය විදේශිකයන් වනවා. එයින් ද 18 දෙනකු චීන ජාතිකයන් වන අතර එක් අයකු ලාඕස් ජාතිකයෙක්. අනෙක් තැනැත්තා කිනම් රටක අයකුදැයි තහවුරු කරගැනීමට හැකිව තිබුණේ නැහැ.

කොරියාවේ වෙලාවෙන් උදෑසන 10.30 ට පමණ මෙම ගින්න හටගෙන තිබුණා. සවස 3.10 වනවිට ගින්න පාලනය කිරීමෙන් අනතුරුව ගිනි නිවන භටයන්ට ගොඩනැගිල්ල තුළට ඇතුල් වීමට හැකිවූ බවයි යොන්හැප් පුවත් ඒජන්සිය සඳහන් කළේ.

ගින්න මෙම කම්හලෙහි දෙවන මහලේදී හටගෙන ඇති අතර එයට හේතුව නිශ්චිත නැහැ. කෙසේ වෙතත් මෙම බැටරි වහා ගිනි ඇවිලෙනසුළු බැවින් ඉතා වේගයෙන් ගින්න පැතිරී තිබෙනවා. ගින්න ඇතිවන අවස්ථාවේ කම්හල තුළ බැටරි 35,000 ක් පමණ වූ බවයි අනුමාන කෙරෙන්නේ.

සේවකයන් සපයන ආයතනයක් මගින් එවන ලද විදේශීය සේවකයන් කම්හලෙහි ඇතුලත සැලැස්ම ගැන අවබෝධයකින් නොසිටීම හේතුවෙන් ජීවිත හානි වැඩි වන්නට ඇතැයි ද අනුමාන කෙරෙන බවයි යොන්හැප් පුවත් ඒජන්සිය පෙන්වා දෙන්නේ.