hit counter

2026 ජනවාරි මස 14 වන බදාදා

2023 ඔක්‍තෝබර් 28, පෙ.ව. 9:19



මේන් ප්‍රාන්තයේ වෙඩිතැබීම් මාලාවකින් පුද්ගලයන් 18 දෙනකු මරණයට පත්කර තවත් 40 දෙනකුට තුවාල සිදුකළ රොබර්ට් කාර්ඩ් නමැත්තාගේ සිරුර හමුවී තිබෙනවා.

දින දෙකක් තිස්සේ කළ සෝදිසි මෙහෙයුම් අවසානයේ ඔහුගේ සිරුර හමුව ඇත්තේ ලිස්බන් නම් ප්‍රදේශයේ ප්‍රතිචක්‍රිකරණ කම්හලක් අසළදී යි. ඔහු තමන් විසින්ම කරගත් වෙඩි තැබීම් තුවාල සහිතව මියගොස් සිටි බවයි වාර්තා වන්නේ. ඇමරිකාවේ නැගෙනහිර වෙරළ වෙලාවෙන් සිකුරාදා රාත්‍රී 7.45 ට පමණ මෙම සිරුර හමුව තිබෙනවා.

ඔහුගේ සිරුර හමුවීමට පෙර කාර්ඩ් පැදවූ වාහනය මේ ආසන්නයෙන් ගලා යන අන්ඩ්‍රොස්කොගින් නදිය අසළ තිබී සොයාගෙන තිබුණා. එහි ගිනි අවියක් ද වූ බවයි බලධාරීන් සඳහන් කළේ. ඔහුගේ සිරුර ගඟ පතුලේ වේදැයි සැක මතුවූ හෙයින් කිමිදුම් කණ්ඩායම් ද සෝදිසිය සඳහා යොදාගෙන තිබුණා.

මේන් ප්‍රාන්තයේ වෙලාවෙන් බදාදා රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීම්වලින් විශාල පිරිසක් මියගිය බව මුලින් වාර්තා වූ අතර පසුව මියගිය සංඛ්‍යාව 18 දෙනකු බව තහවුරු කෙරුණා. වෙඩිතැබීම් කළ තැනැත්තා ඇමරිකානු යුධ හමුදා රිසර්ව් භටයෙක් බවත් ඔහු මීට පෙර මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් වාර්තා වී තිබුණා.