hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 අගෝස්‍තු 16, ප.ව. 4:20



ඊශ්‍රායලය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතිකරගැනීමේ ගිවිසුමක් කරා එළඹීම මගින් තම ජීවිතයට වුව ද අනතුරක් ඇතිවිය හැකි බව සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමාරයා ප්‍රකාශ කර තිබෙන බව පොලිටිකෝ වෙබ් අඩවිය සඳහන් කළා.

ඇමරිකානු කොන්ග්‍රස් මන්ත්‍රීන් කිහිපදෙනකු සමග ඔහු මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එවැනි එකඟතාවයක් කරා එළඹීම කෙරෙහි ඔහුගේ අපේක්ෂාවක් තිබෙන බව ද එම වාර්තාවෙන් පෙන්වා දෙනවා. නමුත් බින් සල්මාන් සඳහන් කර ඇත්තේ එවැනි එකඟතාවයක් ඇතිවීමට නම් පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත කිරීමේ කටයුතු සිදුවිය යුතු බවයි. එසේ නොමැති නම් තමන්ට එවන් එකඟතාවයක් ඇතිකරගැනීම අනතුරුදායක විය හැකි යයි ඔහු සඳහන් කරනවා.

මෙහිදී ඔහු ඊශ්‍රායලය සමග සාම ගිවිසුමක් අත්සන් කිරීමෙන් වසර කිහිපයක් ඇතුලත ඊජිප්තු ජනාධිපති අන්වර් සදාත් ඝාතනයට ලක්වූ බව ද මතක් කර තිබෙනවා.

ඇමරිකාව​, ඊශ්‍රායලය සහ සෞදි අරාබිය එක්ව ඇතිකරගන්නා එකඟතාවයක් පිළිබඳ කතාබහ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයෙහි සිටින සමයේ පටන්ම අප්‍රසිද්ධියේ සිදුකෙරුණා. මෙහිදී ඇමරිකාව සෞදි අරාබියේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, සිවිල් න්‍යෂ්ටික වැඩපිළිවෙලට සහය දීමටත්, තාක්ෂණික ආදී ක්ෂේත්‍රයන් හි ආයෝජනය කිරීමටත් බලාපොරොත්තු වනවා. ඒ වෙනුවෙන් ඇමරිකාව බලාපොරොත්තු වන්නේ සෞදි අරාබිය චීනය සමග ඇති සබඳතා අඩු කරනු ඇතැයි යන්නයි.

මෙවැනි ගිවිසුමක් මගින් ඊශ්‍රායලයට කලාපයේ ඇති පිළිගැනීම පැහැදිලි ලෙස ඉහළ යනවා. තව ද ඇමරිකාව​, සෞදි අරාබිය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහි එක් පෙරමුණක් ලෙස මතුවනවා.

නමුත් සෞදි අරාබියේ මතය බව පෙනී යන්නේ පලස්තීන ප්‍රශ්නය විසඳීම මේ සඳහා අත්‍යවශ්‍ය බවයි. පලස්තීන ප්‍රශ්නය විසඳීමෙන් තොරව කලාපීය සාමය ස්ථාපිත නොවන බැවින් කලාපීය ආර්ථික සමෘද්ධියට එය බාධාවක් බව සෞදි අරාබියේ මතය බවයි කියැවෙන්නේ.