hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 29, ප.ව. 9:52



මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව කැරලිකරුවන් විසින් කරගෙන යන ප්‍රහාරයන් තවම පටන් ගත්තා පමණක් බවත් ඉදිරියේදී ඊළඟ ප්‍රහාරක රැළි ද එල්ලවනු ඇති බවත් මියන්මාරයේ විකල්ප ආණ්ඩුව වන ජාතික ඒකාබද්ධතා ආණ්ඩුවේ විදේශ ඇමතිණී ජින් මා අවුන්ග් පවසනවා.

ජපානයේ NHK World පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වූ ඇය කියා සිටියේ ජාතික ඒකාබද්ධතා ආණ්ඩුව සහ ජනවාර්ගික කැරලිකරුවන් වසරක් පමණ මෙම පියවර සැලසුම් කිරීමට සාකච්ඡා කළ බවයි.

හමුදා පාලනය බිඳ දමා මියන්මාරයට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ලබාදෙන බවයි ඇය පවසා සිටියේ. ඒ සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම ද මේ වනවිට සිදුවන බව ද ඇය කියා සිටියා.

මේ අතර ප්‍රදේශ කිහිපයකදී කැරලිකාර පාර්ශව විසින් හමුදා සේනාංක වෙත පහරදීම් සිදුවනවා. කයා ප්‍රාන්තයේ ලොයිකව් නගරයෙහි තවමත් දරුණු සටන් පවතින බව වාර්තා වන අතර එම නගරයට ගුවන් හමුදාව විසින් ද පහර දී තිබුණා. මේ අතර සගයිංග් ප්‍රදේශයේ නගරයකට කැරලිකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට ගුවන් හමුදාව සමත් වුණා. ගුවන් ප්‍රහාර හමුවේ කැරලිකාර හමුදා පසුබැස තිබෙනවා.