hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 04, පෙ.ව. 10:59



පලස්තීන පාලන අධිකාරිය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ඉල්ලා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ පලස්තීන තානාපති රියාද් මන්සූර් කියා සිටියේ පලස්තීන පාලනාධිකාරියේ උපදෙස් අනුව තමන් මේ ඉල්ලීම ලිපියක් මගින් එක්සත් ජාතීන් ගේ මහලේකම් වෙත දන්වා යැවූ බවයි.

මහලේකම්වරයාගේ අනුමැතිය ලදහොත් ඉන් අනතුරුව එම යෝජනාව එක්සත් ජාතීන් ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.

පලස්තීනය 2011 දී පූර්ණ සාමාජිකත්වය ඉල්ලා සිටීමට සූදානම් වුවද එම අවස්ථාවේ එම යෝජනාව ආරක්ෂක මණ්ඩලය කරා ඉදිරිපත් කෙරුණේ නැහැ. එම අවස්ථාවේදී ඇමරිකා එක්සත් ජනපදය සඳහන් කළේ එවන් යෝජනාවකට එරෙහිව තමන් නිශේධ බලය යොදවන බවයි.

කෙසේ වෙතත් 2012 දී පලස්තීනයට එක්සත් ජාතීන්ගේ නිරීක්ෂක මට්ටමේ රාජ්‍යයක තත්ත්වය හිමිවුණා. එරට සහ වතිකානුව පමණක් එම තත්ත්වය දරනවා.

පලස්තීනය 1967 දේශසීමා අනුව බටහිර ඉවුර සහ ගාසා තීරය සඳහා හිමිකම් කියනවා. නමුත් බටහිර ඉවුරේ කොටසක් ඊශ්‍රායලය විසින් ඍජුව පාලනය කරන අතර ගාසා තීරයේ පාලනය පැවතියේ හමාස් සංවිධානය අතයි. මේ වනවිට එහි ඊශ්‍රායල යුධ මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ අතර ඊශ්‍රායලය පලස්තීනයට එක්සත් ජාතීන්ගේ පූර්ණ සාමාජිකත්වය ලබාදීමට සිය විරෝධය දක්වා සිටිනවා.