2024 නොවැම්බර් 04, ප.ව. 6:04
ඊශ්‍රායල අගමැති කාර්යාලයෙන් රහස්‍ය ලිපිගොනු පිටවීමේ සිද්ධියකට සම්බන්ධ එක් ප්‍රධාන සැකකරුවකු නම් කිරීමට එරට මහේස්ත්‍රාත් අධිකරණයක් මාධ්‍යයට අවසර දුන්නා.
එලී ෆෙල්ඩ්ස්ටයින් නම් 32 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගත් අය අතර වේ යයි මේ අනුව තහවුරු වී තිබෙනවා.
මොහු කලක් ඊශ්‍රායල සන්නද්ධ හමුදාවන් හි සේවය කර ඇති අතර පසුව ඉටෙමාර් බෙන් ගවීර්ගේ පක්ෂයෙහි ප්‍රකාශකයකු ලෙස ද ස්වල්ප කලක් රාජකාරී කළ අයෙක්. බෙන් ගවීර් වර්තමාන ජාතික ආරක්ෂක අමාත්‍යවරයා වන අතර අන්ත දක්ෂිනාංශිකයෙක්. ෆෙල්ඩ්ස්ටයින් පසුව අගමැති නෙතන්යාහුගේ සමීපතමයකු බවට පත්ව තිබෙනවා.
ඊශ්‍රායලයේ අභ්‍යන්තර ආරක්ෂක ආයතනය වන ශින් බෙට් ආයතනය සහ ඊශ්‍රායල සන්නද්ධ හමුදාවන් අගමැති කාර්යාලය වෙතින් කිසියම් තොරතුරු පිටවීමක් වන්නේ යයි සැක කිරීමට පටන්ගෙන ඇත්තේ විදෙස් මාධ්‍යවල පළවූ ඇතැම් වාර්තාවන් කියැවීමෙන් අනතුරුව බව නොබෝදා අධිකරණයේදී සඳහන් වුණා. මේ වාර්තාවන් මගින් ඊශ්‍රායල සන්නද්ධ හමුදාවන් විසින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමට කරන උත්සාහයන් කිසියම් ආකාරයකට අපහසුතාවයට පත් කරන බවට පෙනෙන්නට වූ බව සඳහන් වනවා.
පසුගිය සමයෙහි පළවූ මාධ්‍ය වාර්තා දෙකක් පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමුව තිබෙනවා. ලන් ඩනයේ සිට ක්‍රියාත්මක Jewish Chronicle මාධ්‍ය ආයතනය විසින් පළකරන ලද එක් වාර්තාවක සඳහන් ව තිබුණේ හමාස් සංවිධානය තමන් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් ඊජිප්තුව හරහා ඉරානයට ගෙන යාමට සූදානම් වන බවයි. ඒ සම්බන්ධව කිසියම් ලියවිල්ලක සඳහන් වූ බව කියැවුණ ද ඊශ්‍රායල සන්නද්ධ හමුදා ප්‍රකාශ කර තිබුණේ තමන් එවන් ලියවිල්ලක් පිළිබඳ නොදන්නා බවයි. එම වාර්තාව පසුව එම මාධ්‍ය ආයතනය විසින් ඉවත් කරගනු ලැබුණා.
අනෙක් මාධ්‍ය වාර්තාව ජර්මනියේ Bild සඟරාවේ පළවූවක්. එහි කියැවුණේ හමාස් සංවිධානය සටන් විරාමයක් සඳහා යොමුවීමේ මූලික අභිප්‍රාය සිය හමුදා ශක්තිය ප්‍රකෘති කරගැනීම මිස සිවිල් ජනතාවට වන හානිය වැළැක්වීම නොවන බවයි. මේ බව හමාස් නායක යාහ්යා සින්වාර් විසින් ලියන ලදැයි කියන ලියවිල්ලක අඩංගු වූයේ යයි එම වාර්තාවෙන් කියා සිටියා. නමුත් ඊශ්‍රායල සන්නද්ධ හමුදා ප්‍රකාශ කරන්නේ එම ලියවිල්ල ඉහළ මට්ටමේ හමාස් නායකයකු විසින් ලියන ලද්දක් නොවන බවයි.
කෙසේ වෙතත් මෙවන් වාර්තා මගින් ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සඳහා සටන් විරාම එකඟතාවයක් සඳහා එළඹීමේ උත්සාහයන් කෙරේ ඇති ජනතා මතය වෙනස් කිරීමට උත්සාහ දරන ලද බව අධිකරණයේදී සඳහන් වුණා.
මෙම ලියවිලි පිටවීමට අදාලව ප්‍රධාන කරුණු හතරක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වෙන බවයි අධිකරණය හමුවේ සඳහන් වූයේ. ඒවා නම් රහස්‍ය ලියවිලි පිටවීම, ශින් බෙට් හි අනුමැතිය නොමැති අයකු රහස්‍ය සාකච්ඡා සඳහා සම්බන්ධ වීම, රහස් ලියවිලි හැසිරවීමේ නොසැලකිල්ල සහ මහජන මතය අයුතු ලෙස වෙනස් කිරීමට තැත් කිරීම එම කරුණුයි.
කෙසේ වෙතත් ඊශ්‍රායල අගමැති කාර්යාලය මෙම සියළු චෝදනා ප්‍රතික්ෂේප කරනවා. අදාල පුද්ගලයන් අගමැති කාර්යාල සේවකයන් නොවූ බවත්, ශින් බෙට් අනුමැතිය නොලද අය රහස්‍ය සාකච්ඡාවලට එක් නොවූ බවත් ඔවුන් කියා සිටිනවා.
අත්අඩංගුවේ සිටින ෆෙල්ඩ්ස්ටයින් අගමැති කාර්යාලයේ සේවකයකු නොව එම කාර්යාලයේ අධ්යක්ෂ ජෙනරාල් යටතේ සේවය කරන්නකු බව සත්‍යයක් වුවද ඔහු අගමැතිට ඉතා සමීප අයකු බවයි ඊශ්‍රායල මාධ්‍ය පෙන්වා දෙන්නේ.
2024 දෙසැම්බර් 05, පෙ.ව. 7:55
2024 දෙසැම්බර් 04, ප.ව. 4:07
2024 දෙසැම්බර් 04, ප.ව. 3:05
2024 දෙසැම්බර් 03, ප.ව. 11:27
2024 දෙසැම්බර් 02, ප.ව. 1:38