hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 21, පෙ.ව. 11:26



යුක්‍රේනය සඳහා ඩොලර් බිලියන 61 ක ඇමරිකානු ආධාර සම්මත වීමත් සමගම කඩිනම් රුසියානු මෙහෙයුමක් පිළිබඳ අනාවැකි පළවෙමින් තිබෙනවා.

යුද්ධය පිළිබඳ හැදෑරීමේ ආයතනය (Institute of Study of War) පවසන්නේ යුක්‍රේන ආධාර යුධ පෙරමුණට පැමිණීමට පෙර රුසියාව විසින් විශාල ප්‍රහාරයක් එල්ල කිරීමේ අවධානමක් ඇති බවයි.

යුක්‍රේනය සඳහා ආධාර ලබාදීමේ යෝජනාව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කෙරුණ අතර එය අප්‍රේල් 23 වනදා සෙනට් සභාව විසින් සලකා බැලීමට නියමිතයි. එයින් අනතුරුව ජනාධිපති ජෝ බයිඩන් ඊට අත්සන් තැබීම අවශ්‍ය වනවා.

මෙම කටයුතු කඩිනමින් සිදුවුව ද සටන් පෙරමුණට මෙම ආයුධ ගෙන යාමට සති කිහිපයක් ගතවනු ඇති. එම කාලය තුළ රුසියාව විසින් විශාල මෙහෙයුමක් පටන් ගැනීමේ අවස්ථාව තිබෙනවා.

කෙසේ වෙතත් ඇතැම් විශ්ලේෂකයන් පෙර සිටම අනුමාන කළේ වසන්තය අවසාන සමයේ හෝ ගිම්හානය ආරම්භයේදී රුසියානු ප්‍රහාරයක් එල්ල විය හැකි අතරම​, යුක්‍රේනය විසින් කඩිනමින් ආරක්ෂක වළලු ඉදි කරමින් සිටින නිසා, ඊටත් පෙර වුවද රුසියාවෙන් විශාල ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවයි.

මෙම අනාවැකි සියල්ල සැලකීමේ දී මැයි මාසයේ දී රුසියානු ප්‍රහාරයක් එල්ල වීමේ ඉඩකඩක් පිළිබඳ කිසියම් ඉඟියක් පළවන බව පෙනී යනවා.