hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 03, පෙ.ව. 7:27



හමාස් සංවිධානයේ දේශපාලන අංශයේ නියෝජ්‍ය නායකයා වූ සාලාහ් අල්-අරූරි ලෙබනනයේ දකුණුදිග බේරූට් හිදී ඝාතනය වූ බව වාර්තා වනවා.

ඊයේ රාත්‍රියේ ඔහු සිටින ස්ථානයට එල්ල වුණ ඩ්‍රෝන ප්‍රහාරයකින් මෙම ඝාතනය සිදුව තිබෙනවා. ඊශ්‍රායල ඩ්‍රෝනයක් මෙම ප්‍රහාරය එල්ල කළ බව විශ්වාස කෙරෙන අතර එම ස්ථානය වෙත මිසයිල තුනක් එල්ල වූ බවයි වාර්තා වූයේ.

1966 අගෝස්තු මාසයේදී බටහිර ඉවුරේ රමල්ලා අසළ අරූර් නම් ගමක උපන් සාලාහ් අල්-අරූරි හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය ආරම්භ වනවිට එහි ක්‍රියාකාරීව කටයුතු කළ බව සඳහන්. වසර 15 ක් ඊශ්‍රායල බන්ධනාගාරයන් හි සිරගතව සිටි ඔහු නිදහස ලද පසු රටවල් කිහිපයක ජීවත් වී තිබෙන අතර පසුව ලෙබනනයට පැමිණ තිබෙනවා.

ඔහු ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය මෙන්ම ඉරානය සමග ද හමාස් හි සම්බන්ධීකරණ කටයුතු සඳහා කටයුතු කළ ප්‍රධානම අයකු බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම ඝාතනය පිළිබඳ නිහඬව සිටින්නේ නැති බව හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.