hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් 26, පෙ.ව. 11:23



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වීමට නියමිත වූ වොෂිංටන් හිල්ටන් හෝටලය තුළ වෙඩිතැබීමක් වාර්තා වුණා.

මෙහිදී ට්‍රම්ප්ට හෝ වෙනත් ආරාධිතයකුට හානියක් සිදු නොවූ අතර කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පදිංචි 31 හැවිරිදි කෝල් තෝමස් ඇලන් නම් අයෙකු සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැනට වාර්තා වන ආකාරයට එම තැනැත්තා අදාල උත්සවය පැවති ස්ථානයට ඇතුල් වීමට උත්සාහ කර ඇතත් එය සාර්ථක වී නැහැ.

ආරක්ෂක නිලධාරීන් විසින් ට්‍රම්ප් ඇතුලු සම්භාවනීය අමුත්තන් එම ස්ථානයෙන් ඉවත් කළ අතර භෝජන සංග්‍රහය ද අවලංගු කරනු ලැබුණා.

මේ අතර එම සිද්ධියෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පැවැත්වූ ට්‍රම්ප් සඳහන් කළේ අදාල සැකකරුගේ අරමුණ මෙතෙක් පැහැදිලි නැති බවයි. ඔහු තනිව කටයුතු කළේ යැයි සැක කරන බව ද ට්‍රම්ප් කියා සිටියා. එමෙන්ම එම සිද්ධිය ඉරාන යුද්ධයට සම්බන්ධ යැයි තමන් නොසිතන බවත් ට්‍රම්ප් පැවසුවා.

සැකකරු සතුව ගිනි අවි දෙකක් සහ මුවහත් ආයුධ වූ බව කියැවෙනවා. එමෙන්ම ඔහු ආයුධ පරික්ෂා කෙරෙන මැග් නටෝමීටර් උපකරණ ආසන්නයට පැමිණ වෙඩි තබාගෙන උත්සව ශාලාව වෙත ඇතුල් වීමට තැත් කළ බවයි දිස්වන්නේ.