hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 30, ප.ව. 9:01



රුසියාවේ බේල්ගරද් නගරය වෙත එල්ල වූ යුක්‍රේන ප්‍රහාරවලින් ළමුන් දෙදෙනකු ඇතුළුව දස දෙනකු පමණ මියගොස් ඇති බව රුසියාව පවසනවා.

තවත් තුවාලකරුවන් ද 45 දෙනකු පමණ සිටින බවයි රුසියානු බලධාරීන් සඳහන් කළේ.

බේල්ගරද් ආණ්ඩුකාර ව්ලචෙස්ලාව් ග්ලාද්කෆ් කියා සිටියේ යුක්‍රේන ප්‍රහාර නගරයේ පදිංචිකරුවන් සිටින ප්‍රදේශය වෙත එල්ල වූ බවයි. මේ සඳහා භාවිතා කළ මිසයිල වර්ග පිළිබඳ වාර්තා වී තිබුණේ නැහැ.

යුක්‍රේන දේශසීමාවේ සිට බේල්ගරද් වෙත කිලෝමීටර 40 ක පමණ දුරක් තිබෙන අතර එම ප්‍රදේශයට නිරන්තරයෙන් යුක්‍රේන ප්‍රහාර එල්ල වනවා. ග්ලාද්කෆ් ජනතාවට දැනුම්දුන්නේ ප්‍රහාර එල්ල වීමේ අවදානම තවදුරටත් පවතින හෙයින් ආරක්ෂක ස්ථානවල රැඳී සිටීම සුදුසු බවයි.