hit counter

2024 මැයි මස 17 වන සිකුරාදා

2024 පෙබරවාරි 04, පෙ.ව. 10:43



ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය විසින් යේමනයේ ස්ථාන 13 ක ඉලක්ක 36 ක් වෙත පහරදෙන ලද බව ඇමරිකානු මධ්‍යමදිග විධානය නිවේදනය කර සිටියා.

යුධ නැව්වල සිට එල්ල කෙරුණ මිසයිල ප්‍රහාර සහ අයිසන්හවර් නෞකාවෙන් ගුවන් ගත වූ F/A-18 ප්‍රහාරක​ යානා මගින් එල්ල කරන ලද ප්‍රහාර මෙසේ යේමනයේ හූති කැරලිකරුවන් භාවිතා කරන ස්ථාන වෙත එල්ල වී තිබෙනවා.

හූති කැරලිකරුවන්ගේ භූගත ගබඩා, අණදෙන මධ්‍යස්ථාන​, ඩ්‍රෝන රඳවන ස්ථාන​, හෙලිකොප්ටර්, රේඩාර් පද්ධති ආදී ඉලක්කවලට මෙසේ පහරදුන් බවයි මධ්‍යමදිග විධානය අවධාරණය කර සිටියේ.

මෙම ප්‍රහාරයන්ට නිසි පරිදි ප්‍රතිචාර දක්වන්නේ යයි හූති ව්‍යාපාරය අනතුරු අඟවා තිබෙනවා.

යේමනයේ උතුරුදිග ප්‍රදේශයන් වැඩි හරියක් පාලනය කරන හූති කැරලිකරුවන් මෑතදී රතු මුහුදේ ගමන් ගන්නා වෙළෙඳ නැව්වලට පහරදීමට පටන් ගෙන ඇති අතර ඇමරිකානු යුධ නැව් ද ඔවුන් විසින් ඉලක්ක කරගනු ලැබුණා. ඔවුන් පවසන්නේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයෙහි ගෙනයන යුධ මෙහෙයුම් නිමවන තුරු මෙම ප්‍රහාර එල්ල කරන බවයි.