hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 දෙසැම්‍බර් 04, ප.ව. 7:09



රතු මුහුදේදී ඊයේ ඇමරිකානු යුධ නැවකට ප්‍රහාරයක් එල්ල වූ බව පෙන්ටගනය පවසනවා.

පෙන්ටගනය තවදුරටත් කියා සිටියේ රතු මුහුදේ ගමන් කරමින් තිබූ වෙළෙඳ නැව්වලට ප්‍රහාරයක් එල්ල වූ බව වාර්තා වීමෙන් පසු එදෙසට ගිය USS Carney නැවට මෙසේ ප්‍රහාර එල්ල වී තිබූ බවයි.

මේ අතර නෞකාවලට පහර දීමට පැමිණි ඩ්‍රෝන කිහිපයක් විනාශ කළ බව ද පෙන්ටගනය සඳහන් කළා.

වෙළෙඳ නෞකාවලට සිදුවූ හානියේ තරම් මෙතෙක් නිල වශයෙන් සඳහන් කර නැහැ.

මේ අතර යේමනයේ හූති ව්‍යාපාරයේ ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරල් යාහ්යා සාරි මෙම ප්‍රහාරවල වගකීම භාරගනිමින් ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදුකරන ප්‍රහාර නවත්වන තුරු රතු මුහුද හරහා ගමන් කරන එම රටට සම්බන්ධ නෞකාවලට පහරදීමේ ඉඩක් ඇති බව කියා සිටියා.

කෙසේ වෙතත් ඊශ්‍රායලය පවසන්නේ ප්‍රහාර එල්ල වූ එකදු නෞකාවක්වත් තමන්ට සම්බන්ධයක් ඇති නෞකා නොවන බවයි.

මේ අතර මෙම ප්‍රහාර පිළිබඳ ගතයුතු පියවර සලකා බලමින් සිටින්නේ යයි ඇමරිකාව සඳහන් කරනවා.