hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2023 දෙසැම්‍බර් 28, පෙ.ව. 8:57



බටහිර රටවල් ක්‍රම ක්‍රමයෙන් යුක්‍රේන යුද්ධය පිළිබඳ සිය ස්ථාවරයන් වෙනස් කරමින් සිටින බවත් රුසියාවට කිසියම් ප්‍රදේශ කිහිපයක් ලබාදී හෝ සටන් විරාමයක් කරා එළඹීම පිළිබඳ ස්ථාවරයකට ඔවුන් ක්‍රමයෙන් එළඹෙන බවත් නම සඳහන් නොකරන මූලාශ්‍ර කිහිපයක් උපුටා දක්වමින් Politico වෙබ් අඩවිය සඳහන් කරනවා.

ධවල මන්දිරය සහ පෙන්ටගනය ප්‍රසිද්ධියේ තවමත් ප්‍රකාශ කරන්නේ තමන් යුක්‍රේන ප්‍රතිපත්තිය වෙනසකට භාජනය කර නොමැති බවයි. නමුත් ධවල මන්දිර ප්‍රකාශකයකු ඇතුළු ඇමරිකානු නිලධාරීන් දෙදෙනකු ඊට වෙනස් මතයක් තමන් සමග ප්‍රකාශ කළ බව පොලිටිකෝ මාධ්‍යවේදී මයිකල් හර්ෂ් වාර්තා කර තිබෙනවා.

ඇමරිකානු හා යුරෝපියානු බලධාරීන් අසාර්ථක වූ යුක්‍රේන ප්‍රතිප්‍රහාරය අතැර දමා යුක්‍රේන හමුදා ආරක්ෂිත ස්ථාන කරා අනුයුක්ත කිරීම පිළිබඳ සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ.

මෑතකදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ තමන්ට හැකි තරම් කල් යුක්‍රේනයට සහය දෙන බවයි. මීට පෙර අවස්ථාවල ඔහු කියා සිටියේ අවශ්‍ය තරම් කල් යුක්‍රේනයට සහය දෙන බවයි. මෙම වෙනස් වචන භාවිතය අත්වැරැද්දක් නොවන බවයි පොලිටිකෝ වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

එමෙන්ම සාකච්ඡා මගින් මේ ප්‍රශ්නය විසඳාගැනීම මුල සිටම ධවල මන්දිරයේ අරමුණ වූ බව වෙනත් නිලධාරියකු පොලිටිකෝ සමග පවසා තිබෙනවා.

කෙසේ වෙතත් රුසියාවට වාසිදායක තත්ත්වයක් යටතේ සටන් නවත්වන බවක් පෙන්වීමට අවශ්‍ය නොවන බවයි ඇමරිකාවේ මතය වන්නේ. එසේ සිදුකළේ නම්, වසර දෙකක කාලයක් සිදුකළ දෙයින් කිසිදු ප්‍රතිඵලයක් නොවන තැනකට පත්වන බව ඇමරිකානු නිලධාරීන් පවසනවා.