hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2024 මාර්තු 06, ප.ව. 2:29



පසුගියදා කෙන්යාවේ සංචාරයක් සඳහා පිටත්ව ගිය හයිටි අන්තර්වාර අගමැති අරියෙල් ඔන්රි (Ariel Henry) තවමත් සිය රට පැමිණ නැහැ.

ඔහු ඇමරිකා එක්සත් ජනපදයට අයත් පුවර්ටෝ රිකෝවේ ගොඩබැස ඇති බවට වාර්තා පළවනවා. හයිටියට යාබද ඩොමිනිකන් ජනරජය වෙත පැමිණීමට ඔන්රි උත්සාහ කළ ද ඒ සඳහා එම රටෙන් අවසර ලැබී නැති බවයි සඳහන් වන්නේ. ඩොමිනිකන් ජනරජය හයිටිය සමග වන ගුවන් ගමන් නවතා දමා තිබෙනවා.

මේ අතර හයිටි රාජ්‍යයේ තත්ත්වය ඉතා අයහපත් බවයි සඳහන් වන්නේ. සති අන්තයේදී එරට බන්ධනාගාර දෙකකින් සිරකරුවන් 4000 කට ආසන්න ප්‍රමාණයක් පළා ගියා. ඔවුන්ව ගලවාගන්නා ලද්දේ එරට ක්‍රියාත්මක සන්නද්ධ කල්ලි විසිනුයි. එම කල්ලිවලට මේ වෙද්දී අගනුවර පෝර්ටෝ ප්‍රන්ස් හි සියයට 80 ක පමණ භූමි ප්‍රදේශයක පාලනය හිමිව තිබෙනවා. එමෙන්ම නගරයේ ජාත්‍යන්තර ගුවන් තොටුපල අසළ ද වෙඩි ප්‍රහාර වාර්තා වූ හෙයින් එහි ගුවන් ගමන් නවතා දමා තිබෙනවා.

අරියෙල් ඔන්රි පසුගිය සතියේ කෙන්යාව වෙත පිටත්ව ගියේ එරටින් පොලිස් නිලධාරීන් 1000 ක් ගෙන්වීම පිළිබඳ එකඟතාවයන් සම්පූර්ණ කිරීමේ සාකච්ඡා සඳහා යි. එහෙත් එම පිරිස පැමිණෙන දිනයක් ද මෙතෙක් සහතික වී නැහැ.

හයිටියේ ප්‍රධානම සන්නද්ධ කල්ලියක ප්‍රධානියා වන ජිමී චෙරිසියේ හෙවත් “බාර්බකියු” නම් තැනැත්තා ප්‍රහාශ කරන්නේ අරියෙල් ඔන්රි අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. නැතහොත් රට තුළ සිවිල් යුද්ධයක් හටගනු ඇති බව ඔහු සඳහන් කරනවා.