hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 11, ප.ව. 10:13



නොබෝදා අවසන් වූ යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේදී සයිප්‍රසයේ පැවති තරගයෙන් අනපේක්ෂිත ජයක් ලැබීමට ජනප්‍රිය යූටියුබර් කෙනෙකු වන ෆිඩියාස් පනයිතොතු සමත්ව තිබෙනවා.

ඔහු යූටියුබ් හි පළකරන ලද වීඩියෝ අතර ඊලොන් මස්ක් ඇතුළු සුප්‍රකට පුද්ගලයන් 100 ක් වැළඳගැනීමේ උත්සාහය​, මිනී පෙට්ටියක සතියක් ගතකිරීමේ උත්සාහය ආදිය වනවා.

ස්වාධීනව තරග කළ ඔහුගේ කණ්ඩායම තුන්වන ස්ථානයට පැමිණියේ සියයට 19.36 ක ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින්. ඔහුට වඩා ඉදිරියෙන් සිටින්නේ සයිප්‍රසයේ සම්ප්‍රදායිකව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් රැළිය සහ කොමියුනිස්ට්වාදී පක්ෂයක් වන වැඩකරන ජනයාගේ ප්‍රගතිශීලී පක්ෂය පමණයි.

මෙම ප්‍රතිඵලය අනුව පනයියොතු ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස යුරෝපා පාර්ලිමේන්තුවට පත්ව තිබෙනවා. ඔහු සයිප්‍රස් ඉතිහාසයේ පළමු ස්වාධීන යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වනවා. සයිප්‍රසය යුරෝපා පාර්ලිමේන්තුවට තෝරා පත්කර යවන මන්ත්‍රීන් සංඛ්‍යාව හයක්.

යූටියුබ් වීඩියෝ මගින් කවටකම් සහ සමච්චලයන් කරන්නකු ලෙස ප්‍රකට පනයියොතු 24 හැවිරිදි අයෙක්. ඔහු කියා සිටියේ තම ජයග්‍රහණය සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට පණිවිඩයක් බවයි. ජනතාවට ඔවුන් වඩා සාවධානව ඇහුම්කන් දියයුතු බව ඔහු කියා සිටිනවා.

පනයියොතු කියා සිටින්නේ තමන්ට කිසිදු දේශපාලනික දැනුමක් නොමැති බවයි. ඔහු මීට පෙර ඡන්දය භාවිතා කර නොමැති බව ද පවසා සිටියා. නමුත් යුරෝපා සංගමයේ දේශපාලකයන්ගේ පාලනය තමන්ට රුස්සන්නේ නැතැයි ඔහු පවසනවා.