hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2023 දෙසැම්‍බර් 24, ප.ව. 5:13



ලෝක වෙළඳාමෙහි යුවාන්වලින් කෙරෙන ගනුදෙනු ප්‍රමාණය ඉහළ නගිමින් තිබෙන බව SWIFT මූල්‍ය හුවමාරු සේවය සඳහන් කරනවා.

නොවැම්බර් මාසයේදී යුවාන්වලින් සිදුව ඇති ගනුදෙනු ප්‍රමාණය සමස්ථ ගනුදෙනුවලින් සියයට 4.61 ක් වන අතර එය 2023 ඔක්තෝබරයේ වූ සියයට 3.60 සමග සසඳන කල සැලකිය යුතු වැඩිවීමක් වනවා. මේ අතර එය ලෝකයේ හතරවෙනියට වැඩිම ගනුදෙනු ප්‍රමාණයකට යෙදෙන මූල්‍ය ඒකකය බවට ද පත්ව තිබෙනවා. මේ කාලය තුළ ජපන් යෙන් හි ගනුදෙනු ප්‍රමාණය සියයට 3.91 සිට සියයට 3.41 දක්වා අඩු වී ඇතැයි වාර්තා වනවා.

මේ අතර, මූල්‍ය වටිනාකම සැලකීමේදී ද යුවාන්වලින් කෙරෙන ගනුදෙනුවල වටිනාකම සියයට 34.87 කින් ඉහළ ගොස් තිබෙනවා.

ගනුදෙනු ප්‍රමාණය අතින් තවමත් පළමු ස්ථානය දරන්නේ ඇමරිකානු ඩොලරයයි. එහි පංගුව සියයට 47.08 ක්. යූරෝ මුදල් ඒකකය ගනුදෙනුවලින් සියයට 22.95 කදී යොදාගෙන ඇති අතර බ්‍රිතාන්‍ය පවුම සියයට 7.15 කදී යොදාගෙන තිබෙනවා. ඔක්තෝබරයට සාපේක්ෂව මෙම මුදල් ඒකක තුනම සුළු පහළ යාම් පෙන්වා තිබෙනවා.

විදෙස් වෙළෙඳාමට යුවාන් භාවිතය වැඩි කිරීම සඳහා චීනය විසින් සිදුකරන උත්සාහයන් එහි වර්ධනයට හේතු වී ඇති බවයි සඳහන් වන්නේ.