hit counter

2026 සැප්‍තැම්‍බර් මස 12 වන සෙනසුරාදා

2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 8:03



පසුගිය පාලකයන්ට බලය හිමිවන විට ක්‍රියාත්මක වෙමින් ඉදිරියට ඇදුණු රජයන් පැවතිය ද, වත්මන් ආණ්ඩුවට භාර ගැනීමට සිදුවූයේ සංවර්ධන ව්‍යාපෘති මෙන්ම සමස්ත ආර්ථිකය ද මුළුමනින්ම නතර වී තිබූ බිඳවැටුණු රටක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

පොළොන්නරුවේ පැවති ගොවි රැලිය අමතමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, වාහන ආනයනයේ සිට කඩවත-මීරිගම අධිවේගී මාර්ගය, කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය, උතුරු මැද මහා ඇළ, පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය මෙන්ම රට පුරා රෝහල් ගොඩනැඟිලි රැසක වැඩකටයුතු ද පසුගිය පාලන සමයේ අතරමඟ නතරව තිබූ බවයි.

ණය ගෙවිය නොහැකි බවට ප්‍රකාශ කර රට බංකොලොත් භාවයට පත්වීම හේතුවෙන් විදේශ ණය හා ආධාර පවා රටට සම්පූර්ණයෙන්ම අහිමිව තිබූ බව හෙතෙම සිහිපත් කළේය.

කෙසේ වෙතත්, 2024 දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර ණයහිමියන් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගත් බවත්, ඒ අනුව 2028 වසරේ සිට අදාළ ණය ආපසු ගෙවීම ආරම්භ කිරීමට සහන කාලයක් ලබාගත් බවත් පැවසූ ජනාධිපතිවරයා, ඉන් අනතුරුව නතරව තිබූ සියලු සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරමින් විදේශ ආධාර ලබාගැනීමට මාර්ගය විවර කරගත් බව සඳහන් කළේය.

රටේ ජනතාවට පොරොන්දු ඉටු කිරීමට පෙර අස්ථාවරව තිබූ ආර්ථිකය ස්ථාවර කරගැනීම රජය හමුවේ පැවති ප්‍රමුඛතම අභියෝගය වූ බව පෙන්වා දුන් ඒ මහතා, තෙල් පෝලිම්, ගෑස් හිඟය හෝ විදුලි කප්පාදුව පිළිබඳ බියක් නොමැති ස්ථාවර මට්ටමකට අද වන විට රට පත් කර ඇති බව අවධාරණය කළේය.

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් ඉහළ ගිය ද, මෙරට තුළ කිසිදු තෙල් පෝලිමක් ඇති වීමට ඉඩ නොතැබූ බවත්, රුපියල් 507ක් වූ ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහනාධාරයක් ලබාදෙමින් රුපියල් 407ක මිලකට ලබාදී ජනතාවට සහන සැලසූ බවත් හෙතෙම කියා සිටියේය.

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ දැවැන්ත හානිය මෙන්ම මැදපෙරදිග අර්බුදය හමුවේ ද මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරමින් ජන ජීවිතය ආරක්ෂා කළ බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඕනෑම අභ්‍යන්තර හෝ බාහිර අර්බුදයකට ඔරොත්තු දිය හැකි ශක්තිමත් ආර්ථිකයක් අද වන විට ගොඩනඟා ඇති බවත්, වසර තිහකට පසු මහා භාණ්ඩාගාරයේ ඉහළම ආදායම වාර්තා කිරීමට වත්මන් පාලනය සමත්ව ඇති බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: