hit counter

2026 ඔක්‍තෝබර් මස 11 වන ඉරිදා

2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:02



ලෝකයේ කිසිදු බලවතෙකු ඉදිරියේ දණ නොනමමින් ස්වෛරී හා ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් පෙරදැරි කරගෙන කටයුතු කිරීමට වත්මන් ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ යන තේමාව යටතේ නිකවැරටිය ප්‍රදේශයේදී සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම කියා සිටියේ, විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණයේදී කිසිදු පාර්ශ්වයකට පක්ෂපාතී නොවී මධ්‍යස්ථව කටයුතු කිරීම ජාතික ජන බලවේග රජයේ නොසැලෙන විදෙස් ප්‍රතිපත්තිය බවයි.

ගෝලීය වෙළෙඳ, තාක්ෂණික හා ආර්ථික ගිවිසුම් මගින් මුළු ලෝකයම එකිනෙක බැඳී පවතින වටපිටාවක, අනෙකුත් රාජ්‍යයන් සමග සමීප මෙන්ම ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වූ අවස්ථාවේදී, අමෙරිකානු යුද ගුවන් යානා කිහිපයකට ශ්‍රී ලංකාවට ගොඩබැස්වීමටත්, ඉරාන යුද නෞකා කිහිපයකට මෙරට වරායන් වෙත පැමිණීමටත් කළ ඉල්ලීම් දෙකම ප්‍රතික්ෂේප කිරීමට රජය පියවර ගත් බව ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.

එමෙන්ම ඉරාන නෞකාව හා සබැඳි සිදුවීමේදී ශ්‍රී ලංකා රජය ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ තීන්දු තීරණ ජාත්‍යන්තර ප්‍රජාවගේ පුළුල් ඇගයීමට ලක්වූ බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: