hit counter

2026 ජූලි මස 13 වන සඳුදා

2026 ජූලි 14, පෙ.ව. 12:16



රජයේ මුදල් නාස්තිය සහ දූෂණය අවම කිරීම හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති සඳහා වැයවන පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට වත්මන් රජයට හැකි වී ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ජනහමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මීට පෙර බදු නොගෙවූ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් නිසි පරිදි බදු අය කර ගැනීමට රජය පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම අල්ලස් කොමිසම, පොලිසිය සහ අධිකරණය ස්වාධීනව ක්‍රියාත්මක වීම නිසා ඉහළ මට්ටමේ දූෂණ වංචා රැසක් පාලනය කිරීමට හැකි වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

දූෂිත නිලධාරීන්ට සහ දේශපාලනඥයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපෘති පිරිවැය අඩු වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

“අද රුපියල් මිලියන 75කින් නිම කළ හැකි මාර්ගයක් ඉදිකිරීම සඳහා මීට පෙර රුපියල් මිලියන 125ක් වැනි විශාල මුදලක් වැය කර තිබෙනවා. ඒ අතිරික්ත මුදල් සියල්ල දූෂණය සහ වංචාවන් සඳහා වැය වූ ඒවා,” යැයි ද ඔහු සඳහන් කළේය.

මහජන මුදල් අවභාවිතය වැළැක්වීම හරහා ඉතිරි කරගන්නා මුදල් රටේ සංවර්ධනය සහ ජනතා සුබසාධනය සඳහා වඩාත් ඵලදායී ලෙස යෙදවීමට රජය කැපවී සිටින බව ද අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: