hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මාර්තු 03, පෙ.ව. 7:51



අධික ගාස්තු ගෙවාගත නොහැකි විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හයකට වැඩි පිරිසකගේ විදුලිය සැපයුම් ඉදිරියේදී විසන්ධියට ලක්වීමේ බරපතළ අවදානමක් පවතින බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම අවදානමට වැඩි වශයෙන් ලක්වන්නේ අඩු ආදායම්ලාභි පවුල් බවයි වර්තා වන්නේ.

අධික විදුලිය සහ ජල ගාස්තු බිල්පත් පියවීම ආර්ථික අර්බුදය ආරම්භවීමත් සමග සියයට 40 කින් පමණ අඩුවී පැවතුණ බවත් විදුලිය බිල සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවීම සහ ජල බිල ඉදිරියේදී වැඩිවීම සැලකිල්ලට ගෙන එම බිල් ගෙවීම ඉදිරියේදී තවදුරටත් අඩුවිය හැකි බවත් විදුලිබල හා ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලවල නිලධාරීන් පෙන්වා දෙනවා.

මේ අතර බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පැවසුවේ අධික විදුලි ගාස්තු හේතුවෙන් වතුකරයේ බොහෝ පැල්පත් නිවාස ළඟදීම අඳුරට යනු ඇති බවයි.   

වතුකරයේ අඩු ආදායම්ලාභී ජනතාවට ලොකු විදුලි බිල් ගෙවීමට කිසිසේත්ම හැකියාවක් නැතැයි පැවසූ මන්ත්‍රීවරයා වතුකරයේ ජනතාව වෙනුවෙන් විදුලි බිලට සහනයක් ලබාදෙන්නැයි ඉල්ලීමක් කළා.   

මේ අතර අධික විදුලි බිල්පත් හේතුවෙන් පාරිභෝගිකයන් සිය විදුලි උපකරණ පාවිච්චිය දැනටමත් විශාල වශයෙන් අඩු කර ඇති අතර එය ඉදිරියේදී තවත් වැඩිවිය හැකියි.   

බොහෝ දෙනා විදුලිය විශාල වශයෙන් වැය වන ගෘහස්ථ ශීතකරණ, විද්‍යුත් කේතල සහ සිවිලිම් විදුලි පංකා දැනටමත් භාවිතයෙන් ඉවත් කර ඇති බව දැනගන්නට තිබෙනවා.

මේ අතර අධික විදුලිය සහ ජල ගාස්තු හේතුවෙන් විදුලිය සහ ජලය වංචනිකව ලබා ගැනීමේ සිද්ධීන්ද වැඩිවී ඇති අතර එය ඉදිරියේදී තවදුරටත් වැඩිවිය හැකි බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.   

අධික විදුලි සහ ජල ගාස්තු හේතුවෙන් තමන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් වැය කිරීමට ඇති මුදල්ද එම බිල්පත් ගෙවීමට වැයකිරීමට සිදුවී ඇතැයි පාරිභෝගිකයින් චෝදනා කරනවා.

ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ හැටක් පමණ වනවා. සමස්ත ජල සබඳතා සංඛ්‍යාව ලක්ෂ 24 ක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: