hit counter

2026 ජූනි මස 29 වන සඳුදා

2026 ජූනි 30, පෙ.ව. 12:04



සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා පාතාල කල්ලි නායකයෙකුගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමඟ එම පක්ෂය තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

මෙම සිද්ධිය හේතුවෙන් පක්ෂයේ නායකයින් එකිනෙකාට චෝදනා කරගනිමින් සිටින බවත්, පක්ෂය තුළ  මතභේදයක් හටගෙන ඇති බවත් වාර්තා වේ.

චරිත් අබේසිංහ වැනි පුද්ගලයන් මීට පෙර අධිකරණයෙන් දඬුවම් ලැබූවන් බව දැන දැනම ඔවුන් පක්ෂයට සම්බන්ධ කරගැනීමට මුල් වූ පිරිස පිළිබඳව වහාම විනය පරීක්ෂණයක් පවත්වන ලෙස පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටිති.

පක්ෂය වෙනුවෙන් වසර ගණනාවක් කැපවූ ක්‍රියාකාරීන් සිටියදී, කිසිදු සොයා බැලීමකින් තොරව මෙවැනි පුද්ගලයන්ට පක්ෂයේ ඉහළ තනතුරු ලබාදීම පිළිබඳව ඔවුන් සිය අප්‍රසාදය පළ කර ඇත.

පක්ෂයේ ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ මැදිහත්වීම මත චරිත් අබේසිංහ පක්ෂයට සම්බන්ධ කරගෙන ඇති බවට ද චෝදනා එල්ල වේ.

ඔහු පක්ෂයට සම්බන්ධ වී පැය 24ක් ගතවීමටත් පෙර පක්ෂයේ ඉහළම තීරක මණ්ඩලය වන කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කිරීම පිටුපස කිසියම් ගනුදෙනුවක් පවතින්නේද යන්න පිළිබඳව විමර්ශනයක් කළ යුතු බව පක්ෂ ප්‍රබලයෝ පෙන්වා දෙති.

අවම වශයෙන් පක්ෂය වෙනුවෙන් කිසිදු වැඩකොටසක් ඉටු නොකළ අයෙකුට මෙවැනි වරප්‍රසාද හිමිවීම පක්ෂයේ අනන්‍යතාවයට හානියක් බව ඔවුන්ගේ මතයයි.

අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමඟ චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය මෙන්ම ඔහු දැරූ සියලු තනතුරුවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.

මීට අමතරව ඔහු බහුජන බලය සංවිධානයේ ජාතික සංවිධායක ධුරයෙන් ද ඉවත් කර ඇති බව වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: