hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 02, පෙ.ව. 9:19



ප්‍රභූ ආරක්ෂාව මැද කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ හිටපු නාවික හමුදාපතිවරයා පිළිබඳ තවත් තොරතුරු රැසක් ඒෂියන් මිරර් වෙත වාර්තා වුණා.

ඒ අනුව සාමාන්‍ය රෝගියෙකු හෝ වෙනත් විශේෂ පුද්ගලයෙකු වුවත් ‌කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී එම රෝගියාගේ තොරතුරු ඇතුලත් කරන බවත් එය ගෙවන වාට්ටුවක්ද සාමාන්‍ය වාට්ටුවක් යන්න වෙනසක් නොමැති බවත් රෝහල් ආරංචි මාර්ග පැවසුවා.

කෙසේ වෙතත් රෝගියකු රෝහලට ඇතුළත් කිරීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටියන් බැහැරව කිසිදු ලේඛනයක හෝ සටහන් නොතබා මෙම හිටපු නාවික හමුදාපතිවරයාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.

එම අවස්ථාව වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රධානීන් පවා මෙලෙස දැඩි ආරක්ෂාව මැද සිදු කළ ක්‍රියාවලිය පිළිබඳ කිසිවක් ‌දැනුවත් වී නොසිටි බවයි වාර්තා වන්නේ.

හිටපු නාවික හමුදාපතිවරයාට ප්‍රතිකාර කිරීමටද කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සහය ලබාගෙන නොමැති අතර ඒ සඳහා වෙනත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් බාහිරින් ගෙන්වා ප්‍රතිකාර සිදු කළ බවද එම ආරංචි මාර්ග කියා‌ සිටියා.

මේ අතර මෙම හිටපු නාවික හමුදාපතිවරයා ජාතික රෝහලට ඇතුළත් කිරීම පිළිබඳ තොරතුරු කිසිවක් මාධ්‍යයට හෙළි නොකරන ලෙස රෝහල් බලධාරීන් එහි කාර්ය මණ්ඩලවලට දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

එම රෝගියා පිළිබඳ තොරතුරු පිටතට නොදෙන්නැයි වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රධානියා එහි කාර්ය මණ්ඩලයට හා රෝහල් බලධාරීන්ට දන්වා ඇති බැවින් තොරතුරු ලබාදිය නොහැකි බවයි ජාතික රෝහලේ ප්‍රකාශකයකු කියා සිටියේ.

හිටපු නාවික හමුදාපතිවරයා අසාධ්‍ය ඉන්ෆ්ලුවන්සා තත්ත්වයක් හේතුවෙන් පසුගිය 28 වැනිදා පෙරවරුවේ ගුවන් මගින් ජාතික රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකය වෙත රැගෙන විත් තිබුුුණා.

මේ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්වය සාමාන්‍ය අතට හැරෙමින් පවතින නිසා වැලිසර නාවික හමුදා රෝහලට ඇතුළත් කර ඇතැයි නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කළා.

මෙලෙස ප්‍රභූ ආරක්ෂාව මැද ප්‍රතිකාර ලබා දී ඇත්තේ හිටපු නාවික හමුදාපතිවරයෙකු වන රවී විජේගුණවර්ධන මහතාට බව වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: