hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 අප්‍රේල් 21, පෙ.ව. 9:47



සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකිනෙකට සම්බන්ධ කරමින් සුරාබදු ආදයම් ගණනය කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සදහා වන පරිගණක දත්ත පද්ධතිය සකස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නිර්දේශ කර තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ 2020 වර්ෂය සදහා වූ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව විමසීම සඳහා මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතීත්වයෙන් පෙරේදා (19) පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී මෙම නිර්දේශය ලබා දුන්නා.

මිල ගණන් කැදවීම

මේ වන විට මෙම පරිගණක පද්ධතිය සැකසීමේ මූලික කටයුතු ආරම්භ වී ඇති බවත් 2023 ජනවාරි වන විට මෙම කටයුතු අවසන් කිරීමට හැකිවන බවත් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා මෙහිදී කමිටුවට සඳහන් කළා.

මොරටුව විශ්වවිද්‍යාලයෙන් සහ කොළඹ විශ්ව විද්‍යාලයෙන් ‍අදාළ මිල ගණන් කැදවා සුදුසු පරිදි මෙම කටයුතු සිදු කරන ලෙස ‍මෙහිදී කමිටුව විසින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දීමට කටයුතු කළා.

කනගාටුවට කරුණක්

සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම වැඩපිළිවෙළ අගය කළ කම්ටුව පෙන්වා දුන්නේ මේ හරහා රටට ආදායම් ලැබෙන ප්‍රධානතම ආයතනයක් වන සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමටත් ඒ හරහා ලැබෙන ආදායම විශාල වශයෙන් වැඩිකර ගැනීමටත් හැකියාව ලැබෙනු ඇති බවයි.

එසේම ඇතැම් රාජ්‍ය ආයතනවලට මෙලෙස පරිගණක පද්ධතියක් සකස්කරගෙන කටයුතු විධිමත් කරන ලෙස වසර ගණනාවක් මුළුල්ලේ දැනුම් දුන්නද තවමත් සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම කනගාටුවට කරුණක් බවද කමිටුවේ සාමාජික මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන් බව වාර්තා වනවා.

ආදායම 17%කින් වැඩිවෙලා

එසේම රජයේ ආදායම වර්ධනය කිරීම සදහා වූ මත්පැන් බෝතල් හා මත්පැන් බෝතල් ආශ්‍රිත නිෂ්පාදන සදහා ආරක්ෂිත ස්ටිකර් කළමණාකරණ පද්ධතිය පවත්වාගෙන යාමේ ප්‍රගතිය පිළිබදවද කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා.

මෙහිදී අනාවරණය වූයේ මෙම ස්ටිකර් කළමණාකරණ පද්ධතිය හදුන්වා දීම නිසා පසුගිය වසරේ මුල් මාස තුන තුළ පමණක් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම 17%කින් වැඩිවී ඇති බවයි.

එසේම මත්පැන් අපනයනය මත සුරාබදු අවකරණය කිරීම සම්බන්ධ තොරතුරු ආදායම් අංශයේ හා ගිණුම් අංශයේ ලේඛනගතකර පවත්වාගෙන නොයාම ඇතුළු කළමනාකරණ දුර්වලතා පිළිබඳවද කමිටුවේ අවධානය යොමු වූ අතර හැකි ඉක්මනින් ඒවා නිවැරදි කරගන්නා ලෙස අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: