hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 19, පෙ.ව. 12:01



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් පුහුණු පාසලක් ඇරඹීම සඳහා වසර 07ට පෙර මහනුවර කටුගස්තොට ප්‍රදේශයෙන් බදු පදනම මත මිලදී ගත් ඉඩමක් මේ දක්වා කිසිදු ප්‍රයෝජනයට නොගෙන තිබෙන බව මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ විධායක සභික තිලින බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

අක්කර පහකට ආසන්න විශාලත්වයෙන් යුත් එම ඉඩම අසලට පැමිණි තිලින බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු පිරිසක් අදාළ ඉඩම නිරීක්ෂණය සඳහා කටයුතු කළද මාධ්‍යවේදීන්ට ඒ සඳහා සහභාගිවීමට එම ස්ථානයේ රැඳී සිටි පිරිසක් ඉඩ දුන්නේ නැත.

මධ්‍යම පළාතේ ක්‍රීඩා අමාත්‍යවරයකු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු විධායක සභික, මධ්‍යම පලාත් හා මහනුවර ක්‍රිකට් සංගමයේ හිටපු සභාපති, මහනුවර ක්‍රිකට් සංගමයේ වත්මන් විධායක සභික තිලින බණ්ඩාර තෙන්නකෝන් අදාළ ඉඩම නිරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ කියා සිටියේ මෙම ඉඩම මේ ආකාරයෙන් වල් බිහිවීමට ඉඩ හැර තිබීම විශාල අපරාධයක් බවය.

තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද සඳහන් කළා.

“මුත්තයියා මුරලිදරන්ගේ මෙන්ම තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම පුහුණුකරුවූ සුනිල් ප්‍රනාන්දු එමෙන්ම තවත් විශිෂ්ට පුහුණුකරුවෙකුවූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක බර්නාඩ් පෙරේරා යන මහත්වරු මෙම ස්ථානයේ ක්‍රීකට් පුහුණු පාසලක් පවත්වාගෙන ගියා. එම පාසලින් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් බිහි වුණා. නමුත් මීට වසර හතකට පමණ පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම පුහුණු පාසල මෙතනින් ඉවත් කොට ක්‍රිකට් පුහුණු විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට යැයි පවසමින් මෙම ඉඩම තමන් සතු කර ගත්තා. බාගෙට හදපු තණ තීරුවක් හැර මෙතන මේ දක්වා කිසිදු සංවර්ධනයක් කරලා නෑ. මේක මහා අපරාධයක්. පැරණි ක්‍රිකට් පාසල තිබුනනං මෙතනින් තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙක් බිහි වෙලා.                                      

ඉහළ ආර්ථික වටිනාකමින් යුත් මේ ඉඩම පවරා ගැනීමේදී විශාල වශයෙන් අත යට මුදල් ගනුදෙනු සිදුවෙලා තියෙනවා කියලා අපට දැනගන්න ලැබී තිබෙනවා. අපි ඉල්ලන්නේ මේ වංචනිකයන් රටට හෙළි කර ඔවුන්ට දඬුවම් දෙන්න කියලයි. ශ්රී ලංකා ක්රිකට් ආයතනය මේ දුෂණ වලට සම්බන්ධ බව සඳහන් වෙනවා. මේ ගැන පරීක්ෂණ කමිටුවක් ස්ථාපිත කරන්න කියලා අපි ක්‍රිඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේ ගනුදෙනුවට මහනුවර ක්‍රිකට් සංගමය කිසිසේත්ම සම්බන්ධ නෑ. මේ ගනුදෙනු සම්බන්ධයෙන් අපේ සංගමය දැනුවත් කරලා නෑ. මේ විශාල මුදල් වංචා දූෂණ සම්බන්ධයෙන් හොයල අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි අපි ඉල්ලන්නේ යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් කීය.                                                                                    

මෙහිදී අදහස් පළ කළ මහනුවර මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී , නගර සභා ක්‍රීඩා කමිටුවේ සභාපති ආනන්ද සනත් කුමාර මහතා කියා සිටියේ,

ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් මෙම ඉඩම පවරා ගැනීමට පෙර එම ස්ථානයේ තිබූ ක්‍රීඩා පාසලින් දක්ෂ ක්‍රීඩකයන් රැසක් බිහිවූ බවය. තමාද මුරලිදරන්ගේ පාසලේම සමකාලීනයෙකු බව සඳහන් කළ හෙතෙම කියා සිටියේ මෙම ස්ථානයේ ක්‍රිකට් පුහුණු ආයතනයක් ස්ථාපිත කිරීමේ කිසිදු වැඩසටහනක් නොමැති බවත් ආර්ථික වටිනාකමින් යුත්  මෙම ඉඩම කොල්ලකෑමේ සූදානමක් පවතින බවට සියලු දෙනා සැක කරන බවත්ය.

මෙම ස්ථානයට පැමිණි තවත් ක්‍රීඩාලෝලීන් අදහස් පළ කළ අතර ඔවුන් කියා සිටියේ නුදුරු දිනයක මෙම ස්ථානයට පැමිණ ප්‍රදේශයේ දරුවන් හට ක්‍රීඩා කිරීම සඳහා අවස්ථාව සලසා දීමට පියවර ගන්නා බවය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: