hit counter

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

2026 මැයි 02, ප.ව. 8:41



මහා භාණ්ඩාගාරයේ විදේශීය සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්. රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ අකල් මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සහ බාල දියණිය ලබාදුන් සංවේදී සාක්ෂි පිළිබඳව ලංකාදීප පුවත්පත් වාර්තා කර තිබෙනවා.

රංග රාජපක්ෂ මහතාගේ බිරිඳ, කුලියාපිටිය ප්‍රදේශයේ විද්‍යාලයක ගුරුවරියක ලෙස සේවය කරන අතර ඇය මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් කියා ඇත්තේ, තම ස්වාමියා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන වැඩිමහල් දියණිය සහ පාසල් යන බාල දියණිය ඇතුළු පවුලට අතිශයින් ආදරය කළ අයෙකු බවයි.

මහා භාණ්ඩාගාරයේ විදේශීය සම්පත් දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන මුදල් වංචාවකට අදාළව තම සැමියාගේ රැකියාව අත්හිටුවා තිබූ බවත් ඒ පිළිබඳව සැමියා සිටියේ දැඩි කනගාටුවකින් බව ඇය සිය සාක්ෂියෙන් පෙන්වාදී තිබෙනවා.

එමෙන්ම  සමාජයට මුහුණ දෙන්නේ කෙසේදැයි ඔහු නිතරම ප්‍රශ්න කළ බවත් රැකියාව අහිමි වුවද ඔහු තම බිරිඳට සහ දියණියන්ට අතිමහත් ආදරයක් දැක්වූ බවත් ඇය සඳහන් කළා.

සිද්ධිය වූ දිනට පෙර දින, සැමියා විසින් පවුලේ සැමට දළදා මාළිගාව වැඳ පුදා ගැනීමට ගොස් එතැනින් මොරටුව විශ්වවිද්‍යාලයේ සිටින දියණිය ද රැගෙන නිවසට පැමිණීමට යෝජනා කර තිබුණු බවත් ඇය පවසනවා.

ඒ අනුව තමන් එදින පාසලෙන් කෙටි නිවාඩුවක් ලබාගෙන නිවසට පැමිණී බව පැවසූ ඇය, ඔවුන් ගමන සඳහා සූදානම් වෙමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදු වූ බව එහිදී කියා සිටියා.

ස්වාමියාගේ එක් අතකින් සහ කකුල් දෙකෙන් අධික ලෙස රුධිරය වහනය වන අයුරු දැක තමන් වහාම සුවසැරිය ගිලන් රථ සේවය ඇමතූ බව ඇය පැවසුවා.

නමුත්  ගිලන් රථ සේවකයින් පරීක්ෂා කිරීමෙන් පසු ඔහු ඒ වන විටත් මියගොස් ඇති බව තහවුරු කර ගෙන තිබෙනවා.

එමෙන්ම රංග රාජපක්ෂ මහතාගේ බාල දියණිය පවසා සිටියේ තම පියා වත්ත එළිපෙහෙළි කිරීමට යන බව පැවසූ බවත්, උදේ ආහාරය ගෙන යන ලෙස තමා කළ ඉල්ලීමට පසුව ආහාර ගන්නා බව පවසා ඔහු නිවසින් බැහැර වූ බවයි.

මඳ වේලාවකට පසු බුලත් කොරටුවේ සේවය කරන පිරිසක් පැමිණ තම පියා රුධිරය වහනය වන තුවාල සහිතව වැටී සිටින බව දැනුම් දුන් බවත්, පසුව ඔහු මියගොස් ඇති බව දැනගත් බවත් ඇය ප්‍රකාශ කළා.

මේ අතර කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සඳහන් කරන පරිදි, මෙම මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී එය සියදිවි නසාගැනීමක් බවට තහවුරු වී තිබෙනවා.

රංග නිෂාන්ත රාජපක්ෂ මහතා විසින්ම තියුණු පිහියකින් තම පාද දෙක සහ අතක් කපාගෙන ඇති බවත්, ඒ හේතුවෙන් සිදු වූ අධික රුධිර වහනය සහ කම්පනය මරණයට හේතුව බවත් අධිකරණ වෛද්‍යවරුන් නිගමනය කර තිබුණා.

ඔහු තම ගෙවත්තේ බුලත් කොරටුව අසල කෙසෙල් පඳුරකට හේත්තු වී පාද කපාගෙන තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වූ අතර ඒ සඳහා යොදාගත් ලේ තැවරුණු පිහිය පොලිසිය භාරයට ගෙන ඇති බවත්  එය වසර ගණනාවක් නිවසේ තිබූ එකක් බවත් අනාවරණය වී තිබෙනවා.

තුවාල ලැබූ ඔහු ඇවිදගෙන ඒමට උත්සාහ කර ඇති අතර, පසුව බුලත් කොරටුවේ සේවකයන් විසින් ඔහුව නිවසට රැගෙන විත් තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත පත් කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් සිව්දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් මගින් මෙම පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවා.

ඒ සඳහා වෛද්‍ය අජිත් ජයසේන (කුලියාපිටිය), වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා (කුරුණෑගල), වෛද්‍ය සම්පත් සේනතුංග (අනුරාධපුර) සහ වෛද්‍ය යූ.ඩී.ජී. දිසානායක (නිකවැරටිය) යන මහත්වරුන් සහභාගී වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: