hit counter

2024 සැප්‍තැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:04



අනුරාධපුර නගරයේ පවත්වා ගෙන යන එක්තරා පෞද්ගලික රෝහලක ශල්‍යාගාරය තුළ කාන්තාවන්ගේ ශල්‍යකර්ම සිදු කරන අවස්ථාවන්වලදී ඇතැම් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් එකී ශල්‍යකර්මය සිදු කිරීමට අවශ්‍ය නොවන බාහිර පිරිමි පුද්ගලයන් ශල්‍යාගාර තුළ තබා ගන්නා බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් අරඹා ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පෞද්ගලික රෝහලේ ශල්‍යාගාරය තුළ එලෙස කාන්තා ශල්‍යකර්ම සිදු කරන අවස්ථාවන්වල ශල්‍යාගාරය තුළ තබා ගන්නා බව කියනුයේ අදාළ ශල්‍යකර්මය සිදු කරන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාට හිතවත් කම්කරු සේවයේ යෙදෙන බාහිර පුද්ගලයන් බව ද පැවැසේ.

සීසර් සැත්කම් සහ ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්ම වැනි ශල්‍යකර්ම සිදු කරන අවස්ථාවන්වල මෙලෙස අනවශ්‍ය පිරිමි පුද්ගලයන් ශල්‍යාගාරය තුළ තබා ගන්නා බවට චෝදනා එල්ල වී තිබේ.

රජයේ හෝ පෞද්ගලික යම් ඕනෑ ම රෝහලක ශල්‍යාගාරය තුළ කාන්තාවන්ගේ ශල්‍යකර්ම සිදු කරන අවස්ථාවල අදාළ විශේෂඥ වෛද්‍යවරයා සහ එම ශල්‍යකර්මය සිදු කිරීමට අවශ්‍ය සෙසු රෝහල් කාන්තා කාර්ය මණ්ඩලය හැර වෙනත් බාහිර කාන්තා මෙන් ම විශේෂයෙන් පිරිමි පුද්ගලයන් ශල්‍යාගාර තුළ තබා ගැනීම සෞඛ්‍ය ආචාරධර්මවලට සහ නීතියට ද පටහැනි බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රජයේ වෛද්‍යවරු පවසති.

එහෙත්, මෙම පෞද්ගලික රෝහල තුළ කාන්තාවන්ගේ ශල්‍යකර්ම සිදු කරන අවස්ථාවල ඇතැම් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිතවතුන් බව කියන පිරිමි පුද්ගලයන් අදාළ ශල්‍යගාරය තුළ තබා ගනිමින් ශල්‍යකර්ම සිදු කරන බවට චෝදනා එල්ල වී තිබේ.

මෙම පෞද්ගලික රෝහලේ ශල්‍යාගාරය තුළ කාන්තාවන්ගේ ශල්‍යකර්ම සිදු කරන ඇතැම් අවස්ථාවල ශල්‍යකර්මය සිදු කිරීමට යොදා ගන්නා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අයත් නොවන පුද්ගලයන් අදාළ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා විසින් කාන්තාවන්ගේ ශරීර ස්පර්ශ කරමින් සිදු කෙරෙන යම් යම් කාර්යයන් සිදු කිරීමට යොදා ගන්නා බවද සඳහන් ය.

මෙම තත්ත්වයට මුහුණ පෑ බව කියන මීට පෙර මෙම පෞද්ගලික රෝහලින් ශල්‍යකර්ම කරවා ගත් කාන්තාවන් කිහිප දෙනකුගෙන් දුරකතනයෙන් මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ සියලු විස්තර ප්‍රකාශ කිරීමට ලැජ්ජාවක් මෙන් ම මැලිකමක් දැක්වූ එම කාන්තාවන් ඉල්ලා සිටියේ තමන් වගේ ම මෙම පෞද්ගලික රෝහලින් ශල්‍යකර්ම සිදු කරවා ගත් තවත් කාන්තාවන් කිහිප දෙනකුගෙන් ඒ ගැන විමසුවහොත් බොහෝ තොරතුරු දැනගත හැකි බව ය.

අදාළ පෞද්ගලික රෝහලේ ශල්‍යාගාරය තුළ පවතින බව කියන මෙම බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් දුරකතනයෙන් කළ විමසිමකට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩී. එච්. ලියනගේ මහතා සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමාට මෙතෙක් පැමිණිල්ලක් ලැබී නැති බව ය.

කෙසේ වෙතත්, මේ ගැන තමා සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නා බවට ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩී. එච්. ලියනගේ මහතා සහතික විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: