hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 17, ප.ව. 12:09



පසුගියදා අතුරුගිරියේදී වෙඩි වැදී රෝහල්ගත කළ ටැටූ ආයතනයේ හිමිකරුගේ බිරිඳ මේ වනවිටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

ඇගේ සුවදුක් විමසා බැලීමට කිසිදු හෝ ඥාතියෙක් නොපැමිණෙන බවයි වාර්තා වෙන්නේ.

එම නිසාම ඇයට ප්‍රතිකාර කිරීමේදී දැඩි දුෂ්කරතා රාශියකට මුහුණ දීමට සිදුව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

අතුරුගිරිය ප්‍රදේශයේ දී ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේදී සිදුකළ වෙඩි තැබීමෙන් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එම අවස්ථාවට සහභාගී වූ කේ. සුජීවා සහ අදාළ ටැටූ ආයතනයේ හිමිකරුගේ බිරිඳ තුවාල ලබා මේ වනවිටත් රෝහල්ගත්ව පසුවනවා.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් ටැටූ ආයතනයේ හිමිකරු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා.

මේ අතර වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී ටැටූ මධ්‍යස්ථානය ඉදිරිපිට සිටි දැනට අත්අඩංගුවේ පසුවන ටැටූ මධ්‍යස්ථාන හිමිකරුගේ සහෝදරයාගෙන්ද පොලිසිය ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා.

ඔහු ක්ලබ් වසන්ත නමැත්තා එම ස්ථානයට පැමිණි මොහොතේ සිට අදාළ තොරතුරු සිය ජංගම දුරකථනය ඔස්සේ වීඩියෝ තාක්ෂණයෙන් හෝ වෙනත් මාර්ගයකින් සන්නිවේදනය කළේද යන්න පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මකයි.

මාධ්‍යයට නිකුත් කෙරුණු ක්ලබ් වසන්ත නමැත්තාට වෙඩි වැදෙන ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශනවල ටැටූ මධ්‍යස්ථාන හිමිකරු එකවරම මධ්‍යස්ථානයේ දොරදෙස බලා සැඟවෙන්නේ ඔහුගේ සහෝදරයාගෙන් ලද සංඥාවක් නිසාද යන්න පිළිබදව විමර්ශන නිලධාරින්ගේ අවදානය යොමුව තිබෙනවා.

ටැටූ මධ්‍යස්ථානය තුළදී සෑම අවස්ථාවකම ක්ලබ් වසන්ත නමැත්තා සහ ටැටූ මධ්‍යස්ථාන හිමිකරු දැඩි පරතරයක් තබා කටයුතු කරන ආකාරය දැක්වෙන බැවින් ඒ පිළිබඳවද විමර්ශන නිලධාරීන් සිය අවධානය යොමුකර තිබෙනවා.

එමෙන්ම ටැටූ මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ සිට ඝාතනය සිදුකෙරෙන අවස්ථාව දක්වා ලොකු පැටී නැමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් ලැබුණු මුදල් අවස්ථානුකූලව පරිහරණය කර ඇත්තේ ටැටූ මධ්‍යස්ථාන හිමිකරුගේ ඥාතීන් විසින් බවට අනාවරණය වී තිබෙනවා.

මේ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ක්ලබ් වසන්තගේ බිරිඳගේ තත්ත්වය තවමත් යහපත් නොවන බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.

ඇයට මල් වඩමක් යැවා ඇති බවට කතාවක් පැතිර ගිය අතර රෝහල් අධ්‍යක්ෂිකාව ප්‍රකාශකර සිටියේ ඇයට කිසිදු මොහොතක එසේ මල් වඩමල් ලැබී නැති බවයි.

ඇයට දැඩි ආරක්ෂාවක් ඇති අතර ඇගේ සුවදුක් විමසා බැලිය හැක්කේ ළඟම ඥාතීන්ට පමණක් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.   





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: