hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 29, පෙ.ව. 12:02



මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ විගස එම දරුවන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පසු ප්‍රතිඵල නිකුත් වීමට ගතවන මාස 04ක පමණ කාලයේදී දරුවන් වෙනත් දේ සඳහා යොමු වන බවත් නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමත් සමඟ දරුවා අඛණ්ඩව අධ්‍යාපන ක්‍රියාවලිය තුළ ගොනුවී සිටින බවයි ප්‍රේම්ජයන්ත මහතා කියා සිටියේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ආධාර මත ක්‍රිකට් තණ තීරු 10කින් සමන්විත මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයීය ක්‍රීඩාංගණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමට පෙර උසස් පෙළ පන්ති ආරම්භ කිරීම මඟින් පාසල් තුළ උසස් පෙළ සඳහා පෙනී සිටින ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් එක්වර ගොනුවනු ඇති බවත්, එය ප්‍රශ්නයක් නොවන පරිදි ඉඩකඩ කළමනාකරණය කර ගැනීමට විදුහල්පතිවරුන්ට හැකියාව තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළා.

අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේ, අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කළ යුතුව තිබෙන බවත්, ඒ සඳහා අවශ්‍ය වෙනස්කම් අදියරෙන් අදියර සිදු කරමින් සිටින බවයි.

උසස් පෙළ විද්‍යා විෂය ධාරාව සඳහා මුලින්ම 2001 වසරේදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හඳුන්වා දුන් බවත්, මේ වන විට හය ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් 500ක පමණ සංඛ්‍යාවක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදු කරන බවත් කී ඒ මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ අනුකමිටුව පසුගිය සතියේදී ජනපතිවරයා සමඟ කළ සාකච්ඡාවේදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වා මෑත කාලයේ විශ්‍රාම ගිය ගුරුවරු වසර තුනක කාලයක් සඳහා තාවකාලිකව ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ජනපතිවරයා උපදෙස් ලබා දුන්නේ යැයි ද අවධාරණය කළා.

එම කාලය තුළ දැනට පාසල්වල ඉගැන්වීම් කරන ගුරුවරු ඒ සඳහා පුහුණු කිරීමට නියමිත බව ද ප්‍රේමජයන්ත මහතා වැඩි දුරටත් කියා සිටියේ ය.

තවද ඒ මහතා කියා සිටියේ, මෙවර අය-වැයෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට රුපියල් මිලියන 1500ක මුදලක් වෙන් කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව ඒකාබද්ධ වැඩසටහනක් යටතේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට කටයුතු කරන ලෙස පාසල් ක්‍රිකට් සංගමයට උපදෙස් දුන් බවයි.

රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන ලක්ෂ 41ක් වන සෑම දරුවකුටම සම අධ්‍යාපන අවස්ථාවක් ලබා දීම රජයේ වගකීම බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මොඩියුල් සමඟ විෂය නිර්දේශ යාවත්කාලීන කරමින් යන වැඩසටහන ලබන වාරයේදී ආරම්භ කරන බවත් කී ඇමැතිවරයා මේ යටතේ තෝරාගත් පාසල් 200ක එක, හය හා දහය ශ්‍රේණිවල මීට අදාළ නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවයි ප්‍රකාශ කර සිටියේ.

වර්ෂ 2025දී සියලු පාසල්වල 01, 06 හා 10 ශ්‍රේණිවලට මෙය හඳුන්වා දෙන බවත් කිසිදු අවස්ථාවක නිදහස් අධ්‍යාපනයට හානි වන තීන්දු රජය නොගන්නා බවත් කී ඒ මහතා ඇතැම් අය මෙය දේශපාලන සටන් පාඨයක් කරගෙන ඇතැයි ද අවධාරණය කළේ ය.

මෙහිදී අදහස් දැක්වූ විද්‍යාර්ථ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති රංජිත් වීරසිංහ මහතා පැවසුවේ, තවත් අවුරුදු එකහමාරක් දෙකක් යන්න කලින් විද්‍යාර්ථ විදුහලින් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයකු යොමු කිරීම පාසලේ අරමුණ බවත් ඒ සඳහා මෙම ක්‍රීඩාංගණය නවීකරණය කරදීම මනා පිටුබලයක් වන බවයි.

මෙම අවස්ථාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂම්මි සිල්වා, මහනුවර මහ නගර සභාවේ හිටපු නගරාධිපති එල්.බී අළුවිහාරේ, විද්‍යාර්ථ විද්‍යාලයීය විදුහල්පති එම්.ආර්.පී. මායාදුන්නේ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි සිටියහ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: