hit counter

2024 ජූනි මස 30 වන ඉරිදා

2024 ජූනි 10, පෙ.ව. 12:02



රජය වෙත ලැබෙන විදේශ රැකියා අවස්ථාවන්ගෙන් 25%ක් විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කරනවා.

ඒ අනුව එහි පළමු කණ්ඩායම මෙම මස අවසානයේ ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

ඔහු මේ බව කියා සිටියේ, විශ්‍රාමික හා වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය සහ පරිපාලන කටයුතු සම්බන්ධව සොයාබැලීම සඳහා මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී සංවිධානය කර තිබූ වැඩසහනකට එක්වෙමින්.

එහිදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළේ, ආරක්‍ෂක අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාව, රණවිරු සේවා අධිකාරිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන, බැංකු කටයුතු සහ අනෙකුත් සේවාවන් ලබාගැනීමේදී රණවිරු පවුල්වල සාමාජිකයන් සඳහා ප්‍රමුඛත්වය ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

එමෙන්ම රජය විසින් දැනට ක්‍රියාත්මක කරන ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ ‘උරුමය’ වැඩසටහන යටතේ රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ප්‍රමුඛත්වය ලබාදීමට මෙන්ම රුපියල් 100ක විශේෂ නාමමාත්‍රික බද්දකට පමණක් යටත්ව දැනට භුක්ති විඳින ඉඩම්වල අයිතිය සඳහා බලපත්‍ර නිකුත්කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර සේවයේ නියුතු මෙන්ම විශ්‍රාමික හමුදා සාමාජිකයන් වෙනුවෙන් සහනදායී පොලී අනුපාතිකයක් යටතේ විශේෂ ණය පහසුකම් ලබාදීමට යෝජනා වී ඇති බවද ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: