hit counter

2026 ඔක්‍තෝබර් මස 10 වන සෙනසුරාදා

2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:13



බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කරන්නේ පෞද්ගලික ඉන්ධන සමාගම් මඟින් දිගින් දිගටම ඉන්ධන සැපයුම සීමා කර පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කිරීමට කටයුතු කළහොත්, ඊට එරෙහිව නීත්‍යානුකූලව ගත හැකි සියලු පියවර ගන්නා බවයි.

ඔහු මේ බව කියා සිටියේ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කරුණාතිලක මහතා පෙන්වා දුන්නේ, ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල එම ප්‍රතිශතයෙන්ම ඉහළ නංවා නොමැති බව‍යි.

එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කළේ රජය විසින් ඉන්ධන මිල වැඩිවීම්වල බරෙන් විශාල කොටසක් සහනාධාර ලෙස අවශෝෂණය කරගෙන ඇති බවත්, මීට පෙර රුපියල් බිලියන 57ක් සහනාධාර සඳහා වෙන් කළ අතර ඉදිරි මාස තුන සඳහා තවත් බිලියන 41ක් වෙන් කර ඇති බවත්ය.

එසේම පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය හමුවේ ඉන්ධන මිලෙන් කොටසක් දරාගන්නා ලෙස පෞද්ගලික සමාගම්වලට දන්වා තිබුණ ද, සමහර පෞද්ගලික ඉන්ධනහල් මඟින් ඉන්ධන සැපයුම සීමා කරමින් පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කිරීමට උත්සාහ ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

එම ගිවිසුම්වලට අනුව මිල සූත්‍රයට හා පිරිවැය පාදක කරගත් මිලකරණයකට යෑමට ඔවුන්ට අවස්ථාව ඇති මුත්, පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

”රුපියල් දහයක තෙල් මිල වැඩි වෙනකොට, රුපියල් හැත්තෑවක සහනාධාරයක් රජය හැටියට ලබා දීලා තියෙනවා කියන එක කවුරුත් කතා කරන්නේ නෑ. අනිත් පැත්තෙන් තමයි, පෙබරවාරි මාසයට සාපේක්ෂව ලෝකයේ මේ වෙනකොට කොච්චර ප්‍රතිශතයකින් තෙල් මිල ඉහළ ගියාද කියන එක. කල්පනා කරන්නේ නැතුව තමයි සමහර ප්‍රශ්න සමාජයෙන් අහන්නේ. ඉතින් එහෙම බැලුවහම, අපි ලෝක වෙළඳපොළට සාපේක්ෂව ඒ ප්‍රමාණයටම තෙල් මිල වැඩි කරලා නෑ… ඒ වගේම තමයි, සැලකිය යුතු කොටසක් අපි කලින් සැරේ බිලියන පනස් හතක් වෙන් කළා සහනාධාර ලබා දෙන්න. දැන් ඉදිරි මාස තුන සඳහා බිලියන හතළිස් එකක් සහනාධාර සඳහා වෙන් කරලා තියෙනවා. එතකොට, මේ වැඩි වෙච්ච තෙල්වල මිලෙන් කොටසක් අපි රජය හැටියට සහනාධාර ලෙස අවශෝෂණය කර ගන්නවා. ඒ වගේම, ඉතිරි කොටසෙන් කොටසක් අපි අදාළ සමාගම්වලට කියනවා, “අපි මේ ඉන්නේ දුෂ්කර අවස්ථාවක, ඉතා විශාල වශයෙන් තෙල් මිල වැඩි කරන්න පුළුවන් කාලයක් නෙමෙයි, ඒ නිසා ඔවුන් ඒකෙන් කොටසක් දරාගන්න ඕනේ” කියලා. ඒකෙන් සුළු කොටසක් තමයි ඉන්ධන පාරිභෝගිකයාට ලබා දෙන්නේ… මේ දවස්වල සමහර පෞද්ගලික ඉන්ධනහල් සම්බන්ධයෙන් විශාල කතාබහක් තියෙනවා. ඔවුන් තෙල් සැපයුම සීමා කරලා තියෙනවා. අපි ඒගොල්ලන්ට කියන්න ඕනේ, ඒගොල්ලෝ කියන විදිහට මිල වැඩි කරලා ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරන්න අපි කිසිසේත්ම සූදානම් නැහැ කියලා. ඒ නිසා, අදාළ ගිවිසුම්වලට අනුව, තමන්ගේ මිල සූත්‍රයට සහ පිරිවැය පාදක කරගෙන මිලකරණයකට යන්න ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා. කැමති නම් ඒක භාවිතා කරාට කමක් නැහැ… මෙහිදී, හැබැයි ඒගොල්ලෝ දිගින් දිගටම ඉන්ධන සැපයුම සීමා කරලා ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරනවා නම්, නීත්‍යානුකූලව අපිට ගන්න පුළුවන් පියවර ටික ගැනීමට අවධානය යොමු කරලා තියෙනවා. අවසානයේදී, මේ අය මෙතනට ගේනකොට කිව්වේ, තරගකාරී වෙළඳපොළකින් ඉන්ධන පාරිභෝගිකයන්ට සාධාරණයක් කරන්න පුළුවන් කියලා… නමුත් මේ පෞද්ගලික අංශයේ මැදිහත්වීම දැන් වෙලා තියෙන්නේ, ඒගොල්ලන්ගේ බලපෑම නිසා විශාල වශයෙන් ඉන්ධන මිල ඉහළ දමන්න කියන බලපෑමක් කිරීමයි. රජයක් හැටියට අපි කීයටවත් ඒකට ඉඩ දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ආයෝජකයන් අපහසුතාවයට පත් කරන එක නෙමෙයි අපේ බලාපොරොත්තුව; ඒ වගේම, ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරන එකත් අපේ කාර්යභාරය නෙමෙයි…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: