hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 21, පෙ.ව. 5:33



පවතින ඉන්ධන හිඟය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන නිකුත් කිරීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝග මත කොළඹ දිස්ත්‍රික්කය තුල විශේෂිත පිරවුම් හල් 7ක් වෙන් කර තිබෙනවා.

ඒ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින්.

ඒ අනුව කොළඹ 2 සර් චිත්තම්පලම් ගාර්ඩිනර් මාවතේ පිහිටි පිරවුම් හල, රත්මලාන ශ්‍රී ලංගම පිරවුම්හල, හෝමාගම ශ්‍රී ලංගම පිරවුම්හල සහ හෝමාගම – ගලවිලවත්ත පිරවුම්හල ඊට වෙන් කර තිබෙනවා.

එමෙන්ම, බොරැල්ල ඩී.එස් සේනානායක මාවතේ පිහිටි පිරවුම් හල, මිරිහාන – ජුබිලිකණුව අසල පිහිටි සමූපකාර පිරවුම් හල සහ ගාලුපාරේ පිහිටි වැල්ලවත්ත සමූපකාර පිරවුම්හල ද අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට වෙන් කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ මෙම විශේෂිත පිරවුම් හල් 7 මගින් ඉන්ධන ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් අත්‍යවශ්‍ය සේවා සඳහා නිකුත් කරන බලපත්‍රයක් ලබා ගත යුතු බවයි.

එමෙන්ම, සාමාන්‍ය පෙළ විභාග රාජකාරි සඳහා පත්වීම් ලැබී ඇති නිලධාරීන්ට ඉන්ධන ලබා ගැනීම සඳහා ලබන ඉරිදා පස්වරු තුනේ සිට පස්වරු පහ දක්වා කාලය තුළ ප්‍රමුඛතාව ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර සඳහන් කළේ තමන්ට ආසන්නතම ඉන්ධන පිරවුම්හල වෙත ගොස් විභාග රාජකාරි පත්වීම් ලිපිය සහ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර එලෙස ඉන්ධන ලබාගැනීමට හැකියාව පවතින බවයි.

මේ අතර තවත් ඩීසල් සහ පෙට්‍රල් භාණ්ඩ තොගයක් ගොඩබෑම අද සිට ආරම්භ කරන බව විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ පසුගිය දින දෙක තුළ දිවයින පුරා පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල්වලට ඩීසල් බෙදාහැර ඇති අතර තවදුරටත් අඛණ්ඩව එම බෙදාහැරීම් සිදු කරන බවයි.

ඊයේ පෙරවරුවේ පෙට්‍රල් 92 සහ 95 බෙදා හැරීම ආරම්භ කළ අතර එය සියලුම ඉන්ධන පිරවුම්හල් ආවරණය වන පරිදි අඛණ්ඩව සිදු කෙරෙන බව ද ඔහු ප්‍රකාශ කළා.

මෙවන් පසුබිමක ඊයේ මෙන්ම අදත් දිවයින පුරා ඉන්ධන හල් අසල කිලෝමීටර ගණනක් පුරා විහිදුනු දිගු පෝලිම් පැවති බවයි ඒෂියන් මිරර් වාර්තාකරුවන් සඳහන් කළේ.

පිරවුම්හල් රැසක් අදත් වසා තිබුණු අතර වාහන හිමියන් සිය වාහන පෝලිම් වල ගාල් කර ඉන් පිටව ගොස් තිබුණා.