hit counter

2026 ජූනි මස 23 වන අඟහරුවාදා

2026 ජූනි 24, පෙ.ව. 12:08



ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මැදිහත් වී ආරම්භ කර ඇති නව මෙට්‍රෝ බස් රථ සේවාව හේතුවෙන් මෙරට බදු ගෙවන්නන් දැඩි මූල්‍ය පීඩනයකට ලක්වනු ඇතැයි පෞද්ගලික බස් හිමියන් අනතුරු අඟවති.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, දැනට ධාවනය වන මෙම මෙට්‍රෝ බස් රථ ක්‍රියාවලිය නීතිමය රාමුවෙන් බැහැරව සිදුවන්නක් බවයි.

වත්මන් ආර්ථික වටපිටාව තුළ මෙවැනි බස් රථ විදේශවලින් ගෙන්වා ප්‍රවාහනයට එක් කිරීමට රජය ගත් පියවර දැඩි ලෙස ප්‍රශ්න කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.

රජය විසින් මහජනතාව නොමඟ යවන සුළු ආකාරයෙන් මෙම ව්‍යාපෘතිය හඳුන්වා දී තිබුණ ද, මින් පෞද්ගලික වාහන හිමියන් හෝ සාමාන්‍ය මගීන් පොදු ප්‍රවාහන සේවාව වෙත නැඹුරු කරවා ගත නොහැකි වනු ඇතැයිද ඔහු කීය.

මෙම බස් රථ සම්ප්‍රදායික බස් රථවලට සාපේක්ෂව මෙම මෙට්‍රෝ බස් රථ සඳහා අධික ඩීසල් ධාරිතාවක් වැය වන බවත් ඉදිරියේදී සිදුවන ඕනෑම මූල්‍යමය අලාභයක් අවසානයේදී පියවා ගැනීමට සිදුවන්නේ රටේ පොදු මහජනතාවගේ මුදලින් බවත් ඔහු පෙන්වා දේ.

රජය විසින් ජනතා මුදල් මෙවැනි නිෂ්ඵල ව්‍යාපෘති සඳහා නාස්ති කරන බවට චෝදනා කළ සභාපතිවරයා, මෙට්‍රෝ බස් සේවාවේ මෙහෙයුම් කටයුතු මෙන්ම එහි මූල්‍යමය පැවැත්ම පිළිබඳව මීට වඩා විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ද අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: