hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 මැයි 13, ප.ව. 3:15



දිවයින පුරා ඇඳිරි නීතිය පනවා තිබුණද තවදුරටත් ඉන්ධන සහ ගෑස් ලබා ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්වල රැදී සිටින අයුරු දක්නට ලැබෙනවා.

අධික වර්ෂාව මධ්‍යයේ වුවද ජනතාව දිගු පෝලිම්වල රැදී සිටි බවයි ඒෂියන් මිරර් වාර්තාකරුවන් සඳහන් කළේ.

ප්‍රදේශ ගණනාවක පිරවුම්හල් ඉන්ධන නොමැතිකමින් වසා දමා තිබෙන අයුරු දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඛනිජ තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කළේ, හෙට දිනයේ ඉන්ධන නැවක් දිවයිනට පැමිණීමට නියමිත බවයි.

බොහෝ පිරවුම්හල්වල ඩීසල් නොමැති ඇති අතර, ඒ හේතුවෙන් පොදු මගී ප්‍රවාහන සේවාවන්ට ද බාධා එල්ල වී තිබෙනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, ලංගම හරහා පෞද්ගලික බස් රථවලට ද ඉන්ධන ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කළ ද තවමත් එය ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බවයි.

මේ වනවිට බෙදා හරනු ලබන්නේ පෙට්‍රල් පමණක් වන අතර, අත්‍යාවශ්‍ය සේවා සඳහා ඩීසල් යම් ප්‍රමාණයක් බෙදා හැරීම් සිදු කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

මේ අතර, ගෑස් ලබා දෙන ලෙස ඉල්ලා දිවයිනේ ප්‍රදේශ කිහිපයක අදත් විරෝධතා පැවතුණා.

ගෑස් ඉල්ලා සිදු කරන විරෝධතාවක් නිසා, කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය මහබාගේ ප්‍රදේශයෙන් අවහිර වී තිබුණා.

විරෝධතාවයේ නිරත වූ පිරිස් විසුරුවා හැරීමට පොලීසිය මැදිහත් වීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.

ඉන්ධන සහ ගෑස් ඉල්ලා ජනතාව සිදු කරන විරෝධතා ආරම්භ වී දැන් බොහෝ කාලයක් වනවා. නමුත් ඊට තවත් විසඳුම් ලැබී නෑ.