hit counter

2026 නොවැම්‍බර් මස 01 වන ඉරිදා

2026 නොවැම්‍බර් 02, පෙ.ව. 12:19



සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ 2027 මූල්‍ය වර්ෂය වෙනුවෙන් රජය විසින් ජනතා සුබසාධනය පෙරදැරි කරගත් සුවිශේෂී අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන බවත්, ඒ යටතේ රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප අවම වශයෙන් රුපියල් 20,000 සිට ඉහළම ශ්‍රේණි සඳහා රුපියල් 80,000 දක්වා ඉහළ දැමීමට නියමිත බවයි.

මෙම අයවැය ලේඛනය ලබන නොවැම්බර් මස 12 වන දින මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව 2025 වසරේදී අදියර තුනකින් ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කරන ලද රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමේ ක්‍රියාවලියේ (සමස්තයක් ලෙස 24% සිට 50% දක්වා වූ වැඩිවීම) අවසන් අදියර මෙම අයවැය මඟින් ක්‍රියාත්මක කරන අතර ඒ අනුව රාජ්‍ය සේවයේ පහළම ශ්‍රේණිවල සේවකයෙකුට රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් හිමිවන අතර, ඉහළම ශ්‍රේණිවල නිලධාරීන්ට රුපියල් 80,000ක් දක්වා වූ වැටුප් වැඩිවීමක් හිමිවනු ඇත.

මෙම අවසන් අදියරේ වැටුප් ගෙවීම් වෙනුවෙන් පමණක් රජය රුපියල් බිලියන 330ක මුදලක් වෙන් කිරීමට නියමිතයි. මීට අමතරව, සමස්ත සුබසාධන වියදම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.2ක් (කෝටි එක්ලක්ෂ විසිදහසක්) ඉක්මවනු ඇත.

එහිදී අස්වැසුම සුබසාධන දීමනා රුපියල් බිලියන 240ක්, විශ්‍රාම වැටුප් ගෙවීම් පසුගිය වසරේ සිට එක්වූ නව විශ්‍රාමිකයින් 720,000 දෙනාද ඇතුළුව සමස්ත විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 500ක්, සෙසු සුබසාධන වැඩිහිටි සහ ආබාධිත දීමනා, පොහොර සහනාධාරය මෙන්ම මහපොළ ශිෂ්‍යාධාර සඳහාද පුළුල් ප්‍රතිපාදන වෙන් කෙරේ.

‘ගෝලීය තෙල් මිල උච්චාවචනය හමුවේ මෙවර වෙන්කළ රුපියල් බිලියන 150ක මුදලට සමාන හෝ ඊට වැඩි මුදලක් ලබන වසරේදීද ඉන්ධන සහනාධාර සඳහා වෙන් කිරීමට සැලසුම් කර ඇත.

රාජ්‍ය සේවකයන් සඳහා තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට ගෙන ඇති තීරණය ලබන වසර තුළද නොවෙනස්ව ක්‍රියාත්මක වන බව රජය තහවුරු කර තිබේ.

කෙසේ වෙතත්, සාමාන්‍ය වාහන ආනයන කටයුතු සීමාවන්ට යටත්ව අඛණ්ඩව සිදුවන අතර, ලබන වසරේදී වාහන ආනයනයෙන් පමණක් රුපියල් බිලියන 800ක බදු ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කෙරේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ ආදායම් කාර්යසාධනයක් පෙන්නුම් කර ඇති බැවින්, ලබන වසර සඳහා වන ඔවුන්ගේ ආදායම් ඉලක්ක තවදුරටත් ඉහළ දැමීමට නියමිතය. අයවැය වෙන්කිරීම්වලින් පසු මහජන බදු මුදලින් රුපියල් ට්‍රිලියන 1ක ප්‍රාග්ධනයක් මහා භාණ්ඩාගාරය සතුව ඉතිරි වන අතර, එම මුදල් මාර්ග, මහාමාර්ග සහ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදවනු ඇත.   





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: