hit counter

2026 නොවැම්‍බර් මස 01 වන ඉරිදා

2026 නොවැම්‍බර් 02, පෙ.ව. 12:17



IMF වැඩසටහන ලබන වසර වන විට ඉතා සාර්ථකව අවසන් කිරීමේ මට්ටමට ශ්‍රී ලංකාව පැමිණ ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයනාංශයේ මහාචාර්ය සීතා බණ්ඩාර පවසයි.

කොළඹදී පැවති ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමින් ඇය සඳහන් කළේ, මේ වන විට 5%ක ධන ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යාමටත්, විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 8 ඉක්මවා යන මට්ටමකට ගෙන ඒමටත් රට සමත්ව ඇති බවයි.

වත්මන් රජය ලැබුණේ ICU ලෙඩෙකු බඳු ආර්ථිකයක් බවත් සතියකට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමට පවා නොහැකිව ආහාර සහ ඖෂධ ආනයනය කරගැනීමට අපහසු තත්ත්වයක පැවති ආර්ථිකය මේ වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 7 ඉක්මවා යන තැනට වර්ධනය කරගෙන ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

එමෙන්ම රජය බලයට පත්වීමෙන් පසු ජාතික විද්වත් සංවිධානයට පැවරෙන වගකීම පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ, ආණ්ඩුව ගන්නා සෑම තීරණයක්ම අනුමත කිරීම ආණ්ඩුවට සහාය දැක්වීමක් නොවන බවයි. රජය ක්‍රියාත්මක කරන නිවැරදි ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට සහාය දෙන අතරම, වැරදි තීරණ ගනු ලබන්නේ නම් ඒවා නිවැරදි කරවීමට සක්‍රීයව මැදිහත් වීමද විද්වත් ප්‍රජාව සතු ඓතිහාසික වගකීමක් බව ඇය අවධාරණය කළාය.

ලෝකයේ විශේෂඥ දැනුම තියෙන එකම කණ්ඩායම ජාතික විද්වත් සංවිධානයේ සිටින බවත් එම විද්වතුන් සතු සුවිශේෂී සහ ගැඹුරු දැනුම හුදෙක් ශාස්ත්‍රීය පර්යේෂණ පත්‍රිකාවලට, පොත්පත්වලට හෝ දේශන ශාලාවලට පමණක් සීමා නොවිය යුතු බව අවධාරණය කළ ඇය, එම විශේෂඥ දැනුම සෘජුවම රාජ්‍ය පාලනය සහ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ප්‍රායෝගිකව උපයෝගී කරගත යුතු බව පෙන්වා දුන්නාය.

සියලු දෙනාට පාර්ලිමේන්තුවට යාමට අවස්ථාව නොලැබුණද, පාර්ලිමේන්තුව තුළ මෙන්ම රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස ජාතික විද්වත් සංවිධානයේ සාමාජිකයින් රාජ්‍ය යාන්ත්‍රණය නිවැරදි මාවතකට මෙහෙයවීම සඳහා සිය දායකත්වය ලබාදෙමින් සිටින බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: