hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 24, පෙ.ව. 12:02



රජයේ නිලධාරීන්ට දැනට වසරකට හිමි දින හතළිස් පහක් වන අනියම් හා විවේක නිවාඩු සංඛ්‍යාව විසිපහ දක්වා අඩු කිරීම සඳහා ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරන ලෙස විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා විවෘත හා වගකිව යුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යෝජනා කර තිබෙනවා.

එම නිවාඩු අඩු කරන ලෙස යෝජනා කර ඇත්තේ අනියම් නිවාඩු දින දහයක් සහ විවේක නිවාඩු පහළොවක් වශයෙනි.

විශ්‍රාම වැටුප් වියදම රාජ්‍ය වියදමෙන් සියයට එකොළහයි දශම හතරක් බවත් එම වියදම් කළමනාකරණය කිරීම සඳහා සමස්ත රාජ්‍ය අංශයම දායක විය යුතු බවත් සඳහන් කරමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා යෝජනා හතළිහක් ඉදිරිපත් කර තිබෙනවා.

අනියම්, තාවකාලික, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන ආදී පදනමින් සේවය කරමින් සිට වයස අවුරුදු හතළිස් පහ ඉක්මවා රාජ්‍ය සේවයට බඳවා ගෙන ඇති සහ ස්ථිර කර ඇති නමුත් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු පනස් පහේදී මාස එකසිය විස්සක ස්ථිර සේවා කාලය සම්පූර්ණ කර නැති නිලධාරීන්ට එක් වරක් පමණක් ගෙවන සේවා පාරිතෝෂිකයක් ලබා දී වයස අවුරුදු හැටේදී විශ්‍රාම ගැන්වීම ද තවත් යෝජනාවක් අතර වනවා.

එමෙන්ම මාසික විශ්‍රාම වැටුප් හිමි විදේශගතව වෙසෙන්නන්ට ගෙවනු ලබන මෙරටට අදාළ ජීවන වියදම් දීමනාව නතර කරන ලෙසත් යෝජනා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

තවද විශ්‍රාම වැටුප් හිමිකම ලබා ගැනීමට සම්පූර්ණ කළ යුතු අවම දළ සේවා කාලය මාස 120 සිට 180 දක්වා වැඩි කිරීමද තවත් යෝජනාවක් වෙනවා.

ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මිය ගිය ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයන්ගේ වැන්දඹුවන්ට ගෙවන වැන්දඹු වැටුප අදාළ සාමාජිකයාගේ වයස අවුරුදු පනස් පහ තෙක් ගෙවනු ලබන වන්දි වැටුප් හා දීමනාව මත සංශෝධනය වන බැවින් එදින සිට යැපීම් දීමනාව නතර කිරීමටද යෝජනා කර තිබීම විශේෂත්වයක්.

අධ්‍යක්ෂ ජනරාල්වරයා යෝජනා කර තිබෙන යෝජනා අතරට, අනියම්, තාවකාලික, කොන්ත්‍රාත්, දෛනික හා සහන ආදී පදනම්වලින් බඳවා ගනු ලබන සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත තත්ත්වය ලබා නොදීම සහ ඔවුන් රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල් ආඥා පනතේ විධිවිධානයන්ට යටත් කර එහි දායකත්වය තුළින් ප්‍රතිලාභ ලබාදීම අනිවාර්යය කිරීම් අතර වෙනවා.

රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව අවුරුදු හතළිස් පහේ සිට හතළිහ දක්වා පහත හෙළා බඳවා ගැනීම සීමා කරන ලෙසත් මෙම වසරේ සහ ලබන වසරේ විශ්‍රාම ලබන්නන්ට අදාළ පාරිතෝෂික මුදල් වාරික වශයෙන් ගෙවීමටත් යෝජනා කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: