hit counter

2026 ජූලි මස 21 වන අඟහරුවාදා

2026 ජූලි 20, පෙ.ව. 12:06



වර්තමාන පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ වසර 13ක කාලයක් ගත කිරීම කාලය නාස්ති කිරීමක් බවට සමාජය තුළ මතයක් ගොඩනැගී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

2026-2033 වර්ෂ සඳහා වන සාමාන්‍ය අධ්‍යාපන අංශයේ පරිවර්තනීය රාමුව සකස් කිරීම වෙනුවෙන් කොළඹදී පැවැති වැඩමුළුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ, දෙමාපියන් මේ වන විට ද්විභාෂා අධ්‍යාපනය සහ වඩාත් කඩිනමින් අවසන් කළ හැකි අධ්‍යාපන ක්‍රමවේදයන් කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බවයි.

පාසල් අධ්‍යාපනය සඳහා වසර 13ක් සහ උපාධියක් සඳහා තවත් වසර 3ක් හෝ 4ක් ගත කිරීම කාලය නාස්ති කිරීමක් ලෙස සමාජය සිතීමට පටන් ගෙන ඇති බව ද ඇය සඳහන් කළාය.

එමෙන්ම, වර්තමාන අධ්‍යාපන ක්‍රමය බොයිලර් කුකුළන් බිහි කරන ක්‍රියාවලියකට සමාන වී ඇති බවට විවේචනය කළ අග්‍රාමාත්‍යවරිය, සමාජයේ පවතින දරිද්‍රතාවය සහ ප්‍රචණ්ඩත්වය වැනි බොහෝ ගැටලුවලට මූලික හේතුව අධ්‍යාපන පද්ධතියෙන් දරුවන් ගිලිහී යාම හෝ නිසි අධ්‍යාපනයක් නොලැබීම බව අවධාරණය කළාය.

රජයේ කාර්යාලයකදී හෝ පාසලකදී වැඩක් කරවා ගැනීමට දන්නා කෙනෙකු සිටිය යුතු බවට පවතින මතය අසාධාරණ පද්ධතියක ලක්ෂණයක් බවත්, පුද්ගල සබඳතා හෝ දේශපාලන තීන්දු මත නොව දත්ත සහ ප්‍රතිපත්ති මත පදනම් වූ සාධාරණ අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම රජයේ අරමුණ බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම් හා කාර්ය සාධන අංශය මගින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: