hit counter

2024 ජූනි මස 30 වන ඉරිදා

2024 ජූනි 28, ප.ව. 4:48



දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණි.

ඒ, මෙම පුද්ගල පැහැර ගැනීම සම්බන්ධයෙන් පැවති නඩුවට අදාළ චෝදනා 18කට ඇයව වරදකරු කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව අදාළ චෝදනාවන්වලට (එක් එක් චෝදනාවට) රුපියල් 20,000 බැගින් දඩ නියම කර ඇති බවත්, එම දඩ මුදල් ගෙවීම පැහැර හැරියහොත් එක් චෝදනාවකට මාස 06 බැගින් වු සිර දඬුවම් නියම කරන බවත් නියෝගයේ සඳහන්.

නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරු අමල් රණරජා මහතා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ විත්තිකාරිය තරුණයෙකුව පැහැරගෙන යාමේ චෝදනාවට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීමේ චෝදනාවලට වරදකරු කරන බවයි.

මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකාරියගේ ආධාරකරුවන් අට දෙනෙකු අධිකරණය හමුවේ වරද පිළිගත් බවත්, ඔවුන්ට කොළඹ මහාධිකරණය විසින් අත්හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් නියම කළ බවත් දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා එහිදී සිහිපත් කළා.

විත්තිකාරිය සිදුකර ඇති වරදවල ස්වභාවය අනුව ඇයට බරපතළ වැඩ සහිත වසර 69ක සිර දඬුවමක් නියම කිරීමට අධිකරණයට හැකියාවක් තිබෙන බව ද ඔහු එහිදී අවධාරණය කර තිබෙනවා.

විත්තිකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් කටයුතු කරමින් ඇයගේ බලතල පාවිච්චි කොට සාමාන්‍ය වෙළෙඳසැලක සේවය කළ පුරවැසියෙකුව පැහැරගෙන ගොස් පවුල් ආරවුල් විසඳීමට කටයුතු කිරීම සුළුවෙන් තැකිය නොහැකි කරුණක් ලෙස පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේ මහජනතාව විශ්වාස කරන ජනතා නියෝජිතවරියක මේ ආකාරයෙන් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවයි.

මෙය ඉතා බරපතළ කරුණක් වන බවත්, මෙය විත්තිකාරිය බන්ධනාගාරගත කළ යුතු වරදක් බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා එම දඬුවම අත්හිටවූ සිර දඬුවමක් බවට පරිවර්තනය කිරීම නුසුදුසු බවත් සඳහන් කර සිටියා.

විත්තිකාරිය වරදක් සිදුකළ බව ඇයට ඒත්තු ගැන්විය යුතු වන ආකාරයේ මෙන්ම ඒ පිළිබඳව සමාජය දැනුවත් වන ආකාරයේ දඬුවමක් ඇයට ලබා දිය යුතු බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.

එමෙන්ම යම් පුද්ගලයකු මෙම විත්තිකාරිය ගමන් කළ මාර්ගයේ ගමන් කිරීමට සූදානම් වන්නේ නම් සහ නීත්‍යානුකූලව ජීවත්වන අයට නීතියේ රැකවරණය ලැබෙන බව ඇඟවෙන ආකාරයේ දඬුවමක් මෙම විත්තිකාරියට ලබා දිය යුතු බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකාරියට අවුරුදු තුන, හතර සහ පහ යන වයස්වලට අයත් කුඩා දරුවන් තුන් දෙනෙකු සිටින බවත් ඇය බන්ධනාගාර ගත කරනු ලැබුවහොත් එම දරුවන්ට දැඩි අගතියක් සිදුවන බවත් පෙන්වා දුන්නා.

ඒ අනුව විත්තිකාරිය බන්ධනාගාරගත කිරීමකින් තොරව ඇයට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරුවරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර මෙම තීන්දුවට එරෙහිව විත්තිකාරීය අභියාචනයක් ඉදිරිපත් කරන බවත් ජනාධිපති නීතිඥ මැද්දේගොඩ මහතා අධිකරණයට දන්වා තිබෙනවා.

ඒ අනුව දඬුවම් නියම කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ පසුවනවා.

2015 වසරේ දෙසැම්බර් 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයකුව කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදී තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: