hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:02



කුඩා දරුවන් සිටින මව්වරුන් රැකියා සඳහා විදෙස්ගත වීම හේතුවෙන් සමාජයට ඉහළ බලපෑමක් ඇති වන බව ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසනවා.

ඒ හේතුවෙන් අවුරුදු 05 ට අඩු දරුවන් සහිත මව්වරුන් විදේශගත වීම වළක්වමින් පනවා තිබූ නීතිය නැවත බලාත්මක කිරීමට එම කාරක සභාව නිර්දේශ කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එහි දී ශ්‍රි ලංකාවේ පවතින දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ප්‍රමිතිය නියාමනය කිරීමට උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

වයස අවුරුදු 0-5 අතර දරුවන් මවගේ රැකවරණයෙන් තොරව හැදෙන වැඩෙන වපසරියක් නිර්මාණය වී තිබෙනවා.

ඉදිරි වසර 20-25 තුළ සමාජීය වශයෙන් එය විශාල බලපෑමක් ඇති කරන බවයි අදාළ කාරක සභාවේ දී සාකච්ඡා වී ඇත්තේ.

අමාත්‍යංශ චක්‍රලේක අංක 02/2023 අනුව වයස අවුරුදු 02 සහ ඊට වැඩි දරුවන් සිටින මව්වරුන් සඳහා විදේශගත වීමට අවසර ලබා දී තිබෙනවා.

එමගින් දරුවාට මව්කිරි ලබාගැනීමට ඇති හැකියාව අහිමි වන අතරම මව හා දරුවා අතර ඇතිවන බැඳීම සහ සෙනෙහස ද අහිමි වන බවයි කමිටුව විසින් අවධාරණය කර ඇත්තේ.

එමෙන් ම කුඩා කල සිටම මව අහිමි වීම අනාගතයේදී ඉතාමත් කලහකාරී පරපුරක් බිහිවනු කරනු ඇති.

මව විදෙස්ගත වීම හේතුවෙන් කුඩා කළ සිට දරුවන්ට රැකවරණය අහිමි වන බැවින් එම දරුවන් අනාගතයේ මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධ ක්‍රියාවලට සම්බන්ධ වීමේ ප්‍රවණතාවයක් පවතිනවා.

වෙනත් කෙනෙකුගේ රැකවරණය යටතේ සිටින බැවින් අසල්වසියගෙන් පමණක් නොව, පියා, සීයා වැනි සමීපතම ඥාතීන්ගෙන් පවා අතවරයට පත්විය හැකි බව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ බව සඳහන්.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය සහ අධීක්ෂණය සඳහා නිශ්චිත ආයතනයක් නොමැති වීම සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන නිසි පරිදි ලියාපදිංචි නොවීම, දිවා සුරැකුම් මධ්‍යස්ථාන සම්බන්ධ දත්ත ඉතා අඩුපාඩු සහිත වීම ගැටළු සහගතයි.

ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය විසින් සම්පාදනය කර ප්‍රකාශයට පත් කර ඇති ශ්‍රී ලංකාවේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයේ සඳහන් විධිවිධානවලට අනුගත වීමෙන් මෙම ගැටලු මග හරවා ගත හැකි වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: